Monday, April 29, 2024

General line - 0115112241

20යි 20 පිටියේ වාර්තා රැසක් එක් රැයකින් අලුත් වෙයි




ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ උද්වේගකර තරඟයක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

ඒ සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

අයි පී එල් වාර්තා කිහිපයක් අලුත් කළ මෙම තරඟය ලකුණු 25කින් ජය ගත්තේ සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායමයි.

මෙම තරඟයේ කාසිය වාසිය හිමිකර ගත් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 03ක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 287ක්.

එය අයි පී එල් ඉතිහාසයේ කිසියම් කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක්වූණේ.

සන්රයිසස් ඉනිම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් පන්දු 41කදී ලකුණු 102ක් රැස්කිරීමට සමත් වුණා.

ඒ, හතරේ පහර 09ක් සහ හයේ පහර 08ක් සමඟයි. හෙන්රිච් ක්ලාසන් පන්දු 31කදී ලකුණු 67යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 07ක් දැවී ලකුණු 262ක් රැස්කළා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් කාර්තික් පන්දු 35කදී ලකුණු 83ක් රැස්කළ ද එය තරඟයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ.

මෙම තරඟයේදී කණ්ඩායම් දෙකම රැස්කළ සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව 549ක්.

එය 20යි 20 තරඟයකදී කිසියම් කණ්ඩායම් 02ක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්වුණා.