Saturday, May 4, 2024

General line - 0115112241

දියතලාවේ මෝටර් රථ අනතුරට අත්අඩංගුවට ගත් ධාවකයන් දෙදෙනා රිමාන්ඩ්




දියතලාව, “ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්” මෝටර් රථ ධාවන තරඟය අතරතුරදී සිදු වූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම තරඟයට එක් වූ ධාවකයින් දෙදෙනා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ අනතුරට ලක් වූ මෝටර් රථ 02ක් පැදවූ එම තරඟකරුවන් දෙදෙනාද තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව එම සැකකාර ධාවකයින් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ දියතලාව රෝහලේ තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

“ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්” මෝටර් රථ ධාවන තරඟාවලිය මෙවර පැවැත්වුනේ වසර 05කට පමණ පසුවයි.

දියතලාව නරියාකන්ද ධාවන පථයේ ඊයේ සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයන් 07 දෙනෙකු මිය ගියා.

එලෙස මිය ගිය පිරිස අතර වැලිමඩ ඩයබරාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 08ක් වූ දැරියක්ද වන බවයි පොලීසිය පැවසුවේ.

එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සෙසු පිරිස පිරිමි පුද්ගලයන් වනවා.

කොස්ගම සාලාව කඳවුරට අනියුක්තව රාජකාරී කළ අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබළෙක්ද ඒ අතරට අයත්.

එම සෙබළා නිවාඩු ලබා මෙම මෝටර් රථ ධාවන තරඟය නැරඹීමට පැමිණ තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සෙසු පුද්ගලයින් වැලිමඩ - ඩයබරාවත්ත, සීදූව - රාජපක්ෂපුර, මාතර රාහුල පාර, අකුරැස්ස - වලව්වත්ත සහ මාතර - ගොඩගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 16 දෙනෙකු දියතලාව රෝහලේ සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.  

“ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්” මෝටර් රථ ධාවන තරඟය අතරතුරදී මෙම අනතුර සිදුවූයේ සංවිධායක මණ්ඩලයේ සහ තරඟ තීරකවරුන්ගේ වරදින් බවටද චෝදනා එල්ල වනවා.

අනතුර සියැසින් දුටු පුද්ගලයකු නෙත් නිවුස් වෙත කියා සිටියේ පළමු මෝටර් රථය ධාවන පථය තුළ අනතුරට ලක්වීමත් සමඟ එම ස්ථානයේ අධික ලෙස දූවිලි ස්වභාවයක් දක්නට ලැබුනු බවයි.

ඒ සම්බන්ධයෙන් තරඟ තීරකවරු අවධානය යොමු නොකිරීම හේතුවෙන් දෙවන මෝටර් රථයත් ධාවන පථය තුළ අනතුරට ලක්වූ බවද ඔහු කියා සිටියා.

එමෙන්ම අනතුර සිදුවූ අවස්ථාවේදී මෝටර් රථ ධාවකයන්ගේ සහයකයන් තරඟය නතර කරන ලෙස ට්‍රැක් මාෂල්වරුන්ගෙන් ඉල්ලීමක් සිදුකළද ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බවයි එම පුද්ගලයා පැවසුවේ.

අනතුර සිදුවීමෙන් අනතුරුව එම තරඟාවලියේ ඉතිරි තරඟ නතර කිරීමට සංවිධායකයින් පියවර ගනු ලැබුවා. 

මේ අතර “ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්” මෝටර් රථ ධාවන තරඟය අතරතුර සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් යුධ හමුදාවද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක රසික කොඩිතුවක්කු පැවසුවේ.