Wednesday, May 22, 2024

General line - 0115112241

මරණයේ අවදානම සියයට 62කින් අවම කරන අලුත් ක්‍රමයක් ගැන වාර්තාවක්




සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමෙන්, පුද්ගලයෙකුට ජානමය ලක්ෂණ අනුව පවතින ජීවිත අවදානම අවම කරගත හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

එහිදී හෙළි වී ඇත්තේ ජානමය තත්ත්වය අනුව හදිසි මරණයකට පත් විය හැකි පුද්ගලයින්ගේ එම අවදානම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තුළින් අවම කරගත හැකි බවයි. 

අමෙරිකාව සහ චීනය ප්‍රමුඛ රටවල් කිහිපයක විද්‍යාඥයින්ගේ එකතුවෙන් පුද්ගලයින් තුන් ලක්ෂ 50,000ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබුණා.

වසර 13ක් පුරා සිදු කළ දත්ත මත පදනම්වයි එහි වාර්තාව එළි දක්වා ඇත්තේ.

එහිදී අනාවරණ කර ඇති තවත් ප්‍රධාන කරුණක් වන්නේ ජානමය ලක්ෂණ අනුව ජීවිත අවදානමක් පවතින පුද්ගලයින් සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවක් අනුගමනය කළහොත් එම අවදානම සියයට 78කින් වැඩි වන බවයි.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව හා දීර්ඝ ආයුෂ අතර පැවති සම්බන්ධය මෙන්ම ජානමය තත්ත්වය මත ඇති ජීවිත අවදානම් තත්ත්වය පිළිබඳව මීට පෙරද ලොව පුරා අධ්‍යයනයන් සිදු කර තිබුණා.

එහෙත් මෙම කරුණු 02ම පදනම් කර ගනිමින් අධ්‍යයනයක් සිදු වූ පළමු අවස්ථාව මෙයයි.

එහිදී හෙළි වී ඇත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තුළින් ජානමය අවදානමක් ඇති පුද්ගලයින්ගේ පවා ආයු කාලය වසර 05කින් දීර්ඝ කළ හැකි බවයි. 

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට බලපාන කරුණු 04ක් සම්බන්ධයෙන්ද මෙහිදී හෙළි කර තිබෙනවා.

දුම් පානය, ශාරීරික ක්‍රියාකාරකම්, නින්දේ ප්‍රමාණය සහ ආහාර ඒ අතරට අයත්.

පැය 07ක් හෝ 08ක රාත්‍රී නින්දක්, වැඩිහිටියන් සඳහා සතියකට අවම වශයෙන් මිනිත්තු 150ක ව්‍යායාම කාලයක් ද මෙම අධ්‍යයනය හරහා නිර්දේශ කර තිබෙනවා.  ස්වභාවික ආහාරද ඊට ඇතුළත්.