Monday, May 20, 2024

General line - 0115112241

ඩයනාගේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු කියපු කතාව




රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. 

එමෙන්ම පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වග උත්තරකාර ඩයනා ගමගේට නියෝග කළා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ  බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් මුලින්ම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා. 

එම පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු  මඩුලක් හමුවේ විභාග වුණා.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා. 

එම අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කොට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

දීර්ඝ විභාගයකින් අනතුරුව ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා  සඳහන් කළේ
 " වගඋත්තරකාර ඩයනා ගමගේ  බ්‍රිතාන්‍ය විදේශ ගමන් පත්‍රයක් හිමි තැනැත්තියක් බව ඇය විසින් නඩු විභාගයේදී පිළිගෙන තිබුණා. බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයකින් 2014 වසරේ ඔක්තෝම්බර් මස 05 වනදා දිවයිනට පැමිණි බව නඩු විභාගයේදී අනාවරණය වුණා. ඉන් අනතුරුව ඇය විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජකාරී ගමන් බලපත්‍රයක් ලබාගත් බවත් නඩු විභාගයේදී කරුණු සඳහන් වුණා. මෙරට පුරවැසි පනත අනුව යම් ලාංකිකයෙකු විදේශයක පුරවැසී භාවය ලබාගත් විගස ඔහුගේ හෝ ඇගේ මෙරට පුරවැසිභාවය ඉබේම අහෝසි වී යනවා. ඒ අනුව වග උත්තරකාර ඩයනා ගමගේ විසින් බ්‍රිතාන්‍ය පුරවැසින් භාවය ලබාගත් විගස ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිබාවය අහෝසි වී යාම පැහැදිලි කරුණක්. එසේ තිබියදී වගඋත්තරකාරිය බලය අයුතු ලෙස පරිහරණය කරමින්  මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබෙන බවත් පැහැදිලි වෙනවා" යනුවෙන් සඳහන් කළා.

වැඩි තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා
" වග උත්තරකාර ඩයනා ගමගේට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා. එම විමර්ශනයට අදාළව ආගමන හා විගමන පාලකවරයා විසින්ද පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නා. එම ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී පෙනී යනවා ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභවය හිමි තැනැත්තියක් බව. එවැනි වාතාවරණයක් මත වග උත්තර කාරියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව මහේස්ත්‍රාත්වරයා විසින් ද  නිගමනය කර තිබුණා. අධිකරණය විසින් නියෝගයක් නිකුත් නොකළත් වග උත්තරකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලිසියට බලය තිබෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු කළේ නැහැ. එසේ කටයුතු නොකිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඕනෑ තරම් හේතු තිබෙන්න පුළුවන්. නමුත් නීතියේ දෙවඟනගේ ඇස් බැඳ තිබෙන්නේ නිලය, බලය, ධනය වැනි කරුණු ඉදිරියේ වෙනස්කම් නොවීමට වග බලා ගැනීමටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙකුම සමාන සැලකිලි ලැබිය යුතු බව ත් අවධාරණය කර තිබෙනවා." යනුවෙන්ද සඳහන් කළා. 

ඩයනා ගමගේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මුලින්ම අභියාචනාදීකරණය හමුවේ නඩු පැවරූ අතර එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත එය ප්‍රතික්ෂේප කිරීමටද නියම කර තිබුණා.

ඒ සම්බන්ධයෙන්  තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ
" අභියාචනාධිකරණය ඉදිරියේ පවතින නඩු විභාගයේ දී එම නඩුකරයට අදාලව ඉදිරිපත් කෙරුණු ලේඛනවල  මුල් පිටපත් ඉදිරිපත් නොකිරීම නිසා එය  ප්‍රතික්ෂේප කරන බව එම අධිකරණය සඳහන් කර තිබූ එක් කරුණක්. එහෙත් ඒක පිළිගන්න බෑ. අපරාධ නඩු  විධාන සංග්‍රහයට අදාළ කාරණා රිට් පෙත්සම්වලදී අදාළ කරගන්න බැහැ. අභියාචනාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ නඩු තීන්දුව පිරික්සීමේදී පෙනී යනවා එම අධිකරණයට වග උත්තරකාර ඩයනා ගමගේ ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ බොහොමයක් කොටස් පිටපත් කර ඒවා ඒ ආකාරයෙන්ම අලවා තිබෙන බව. එවැනි ස්ථාන 80 ක් පමණ නඩු තීන්දුවේ ඇතුළත්ව තිබෙනවා. අලුතින් ඇතුලත් කර තිබෙන්නේ ඡේද සුළු සංඛ්‍යාවක් පමණයි. ඒවාද වැරදි සහගතයි" යනුවෙන් සඳහන් කර සිටියා. 

වගඋත්තරකාර ඩයනා ගමගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බව විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නා.

" මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තියට අනුව මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීම, අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසි භාවය අත්‍යවශ්‍ය සුදුසුකමක් බව දක්වා තිබෙනවා. එහෙත් ඩයනා ගමගේ සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත් හල බවක් කිසිදු අවස්ථාවක සඳහන් කර නෑ. එසේම ඇය ශ්‍රී ලාංකික පුරවැසිභාවය විෂය භාර අමාත්‍යවරයාගෙන් ලබාගත් බවක්ද කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නැහැ. ඒ අනුව ඇයට මෙරට පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව  පැහැදිලි වෙනවා" යනුවෙන් සඳහන් කළ  විනිසුරුවරයා ඒ අනුව ඩයනා ගමගේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල ශුන්‍ය කරන ලෙස ඉල්ලා  ගොනු කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාදීකරණය විසින් ප්‍රකාශ කර තිබු  තීන්දු සියල්ල ඉවත දමන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

ඒ අනුව ඩයනා ගමගේට  ශ්‍රී ලංකා පුරවැසි භාවය හිමි තැනැත්තියක් බවට තහවුරු කිරීමට ඇය විසින් අපොහොසත් වී ඇති නිසා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බව තහවුරු කරමින් " කෝ වොරන්ටෝ" රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශය කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එසේම පෙත්සන්කරුට නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වග උත්තරකාර ඩයනා ගමගේට නියෝග කරන ලදී.

මෙහිදී පෙත්සම්කාර ඔෂල හේරත් වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස්  පෙනී සිටි අතර වග උත්තරකාර ඩයනා ගමගේ  වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පෙනී සිටියා.