Monday, May 20, 2024

General line - 0115112241

විදුලි පනත් කෙටුම්පතට එරෙහි නඩු විභාගය ඇරඹේ

උදය කුමාර




රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම  ආරම්භ වුණා.

විජිත් මළල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

පෙත්සම් විභාගය ආරම්භයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදුලිබල නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය කාර්යක්ෂමකොට පාරිභෝගිකයින්ට  සහනදායි සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙන් මෙම පනත් කෙටුම්පත රජය විසින් ඉදිරිපත් කර තිබෙන බව සදහන් කළා.

මෙම පනත් කෙටුම්පත තුළින්  ප්‍රධාන වශයෙන්  විදුලි පද්ධතිය මෙහෙයුම් සමාගම සහ ජාතික සම්ප්‍රේෂණ සේවා ජාල සැපයුම් සමාගම යනුවෙන් සමාගම් දෙකක් ස්ථාපිත කිරීමට නියමිත අතර විදුලි පද්ධති මෙහෙයුම් සමාගමේ හිමිකාරීත්වය සියයට සීයක්ම රජය සතු වන බවත් ඇය කියා සිටියා.

ජාතික සම්ප්‍රේෂණ සේවා  ජාල සැපයුම් සමාගමේ හිමිකාරීත්වයෙන් සියයට 50 ක් රජය සතුවන බවත් ඇය පෙන්වා දුන්නා.

දැනට ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලබන ජල විදුලි නිෂ්පාදන කටයුතු හා ඊට අදාල දේපල එක් සමාගමක් වෙත පැවරෙන අතර එම සමාගම පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගමක් බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කියා සිටියා.

ඊට අමතරව ඉන්ධන, ගල් අඟුරු, පුනර්ජනනීය බලශක්ති යනාදී ක්ෂේත්‍රයන්ගෙන් සිදුකෙරෙන විදුලිබල නිෂ්පාදන කටයුතු  ද වෙන් වෙන් වශයෙන් ස්ථාපිත කෙරෙන සමාගම් වෙත පැවරීමට මෙම පනත් කෙටුම්පතෙන් යෝජනා කර තිබෙන අතර මේ යටතේ කොපමණ සමාගම් සංඛ්‍යාවක් ස්ථාපිත කරන්නේ ද? යන්න තීන්දු කරනු ලබන්නේ බලශක්ති ප්‍රතිව්‍යුහගත ලේකම් කාර්යාලය විසින් බවයි ඇය පෙන්වා දුන්නේ.

මෙහිදී ප්‍රශ්නයක් මතු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මේ ආකාරයෙන් පිහිටුවනු ලබන සමාගම් යම් ආකාරයෙන් බිඳ වැටුණොත් හෝ අඩාල වීමක් සිදුවුවහොත් රටේ විදුලි සැපයුම බරපතල ගැටලුවකට ලක්වීමට හැකියාවක් තිබෙනවා නොවේදැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරියගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ රාජ්‍ය හිමිකාරිත්වය සහිතව මෙම සමාගම් ස්ථාපිත කරන හෙයින් පනතේ විධිවිධානයන්ට අනුකූලව එවැනි තත්ත්වයක් ඇතිවීමට හැකියාවක් නොමැති බවයි. 

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරනු ලබන සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල් සහ  විශ්‍රාම අරමුදල මෙහෙයවීමේ කටයුතු මෙම පනත යටතේ ස්ථාපිත කරන සමාගමක් වෙත පැවරෙන බවත් මෙම පනත යටතේ ස්ථාපිත කරන සමාගම් වලට එක්වීමට අකමැති ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යා හැකි “ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්” හඳුන්වාදීමට කටයුතු කරන බවත් වැඩි දුරටත් සඳහන් කළා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර වැඩිදුර පෙත්සම් විභාගය හෙට දිනය තෙක් කල් තැබුණා.

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පාර්ශව 14 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.