Friday, November 1, 2024

General line - 0115112241

වර්ජනය නිසා නවක සිසුන්ගේ සරසවි ප්‍රවේශයත් කල්යයි - විභාගත් ඇනහිටී




විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්වවිද්‍යාලවලට අළුතෙන් සිසුන් බඳවා ගැනීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත ඇතුළත් උපදෙස් පත්‍රිකා පොත පවා මෙතෙක් නිකුත් කර නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත පැවසුවේ පවතින තත්ත්වය හේතුවෙන් නවක සිසුන් බඳවා ගැනීම දින නියමයක් නොමැතිව කල් යනු ඇති බවයි. 


ඔහු කියා සිටියේ මේ වන විට අධ්‍යයන කටයුතු සිදු කරන සිසුන්ගේ විභාග කටයුතු පවා දින නියමයක් නොමැතිව කල් යනු ඇති බවයි. 


වැටුප් විෂමතා ගැටලුවක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ආරම්භ කළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 15ක්.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ අත්‍යවශ්‍ය පහසුකම් වන ජල, විදුලි සහ අන්තර්ජාල පහසුකම් පවා බිඳවැටෙමින් ඇති බවයි වෘත්තීය සමිති පැවසුවේ.