Saturday, July 27, 2024

General line - 0115112241

මියන්මාර වැඩ බලන තානාපතිට අගමැතිගෙන් ඉල්ලීමක්




මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ, ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ විශාල විභවතාවක් පවතින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටයේ  අරලිය ගහ මන්දිරයේ දී මියන්මාර වැඩ බලන තානාපති ලෙයි යි වින් මහතා හමුවූ අවස්ථාවේදී.

මැණික් හා ස්වර්ණාභරණ, තේ සහ පොල් වෙළෙඳාම, ඛනිජ ද්‍රව්‍ය, බෞද්ධ සංචාරක ව්‍යාපාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍ර රැසක ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කළ හැකි බවයි  එහිදී අග්‍රාමාත්‍යවරයා  පෙන්වා දුන්නේය.

පෙර සැකසුම් කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනයේ යෙදී සිටින ශ්‍රී ලංකාවට ඇති අධි ඉල්ලුම සැපිරීමට මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා මියන්මාරයට ශ්‍රී ලංකාව වෙත පොල් අපනයනය කිරීමේ අවස්ථාව ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙරට තේ වෙනුවට පොල් හුවමාරු කළ හැකි බවයි.

වසර 2600කට පසුව ද බුද්ධ දර්ශනය ප්‍රචලිත ව පවතින බවත් එය ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර සමීප ආගමික සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට ඉවහල් වූ බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂයෙන් ථේරවාදී බුදු දහමේ සුරක්ෂිතතාවය වෙනුවෙන් මියන්මාරයෙන් ලැබුණු සහයෝගය සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා උපසම්පදාව මෙරට ස්ථාපිත කිරීමට එදා බුරුමයෙන් (මියන්මාරය) ලද සහාය තුළින් දෙරට අතර අතීතයේ සිට ආගමික සහයෝගය පැවැති බවද සිහිපත් කර සිටියා.

වැඩබලන තානාපති ලෙයි යි වින‍් පැවසුවේ ආනයන අපනයන සහ ආර්ථික සහයෝගීතාවයේ විභව ක්ෂේත්‍ර ගවේෂණය කිරීම සඳහා මියන්මාරයේ යැංගූන් හී පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවට සහභාගී විය හැකි බව යි.

මේ වසරේ දී මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරෙන බව ද ඇය පැවසුවා ය. මියන්මාරය 11 වැනි සියවසේ බඩාන් රාජවංශ සමයේ දී ථේරවාදී බුදුදහම ස්ථාපිත කර වසර 1000ක් සමරන බව ද ඇය පවසා සිටියා