Saturday, July 27, 2024

General line - 0115112241

පෝටර්ට පහර දුන් රාජ්‍ය ඇමති ප්‍රසන්නගෙන්  පොලීසිය ප්‍රකාශ ගනී - එළියට පැමිණ මාධ්‍යයට කට අරී

ටී කේ ජී කපිල




රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය හමුවේ අද පෙනී සිටියා.

ඒ, ප්‍රකාශයක් ලබාදීමට පොලිසිය කළ දැනුම් දීමක් මතයි.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කටුනායක ගුවන් තොටුපොළේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර්වරයෙකුට පහරදුන් බවට එල්ල වන චෝදනාවකට අදාළව එලෙස රාජ්‍ය අමාත්‍යවරයා පොලිසිය හමුවට කැඳවා ඇති බවයි.

පසුගිය 12 වනදා අලුයම් කාලයේදී රාජ්‍ය අමාත්‍යවරයා සිය ආරක්ෂකයින් සමඟ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොස් ඇත්තේ විදේශගත වන රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ පිටත් කිරීම සඳහායි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගිනිඅවි අතැති සිය ආරක්ෂක නිලධාරින් සමඟ ගුවන් තොටුපොළ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වුණේ.

ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරින් එහිදී ප්‍රකාශ කර ඇත්තේ ගිනිඅවි සමඟ ගුවන් තොටුපොළ තුළට ඇතුළු වීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.

එහිදී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරින්ට බැන වැදුණු රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ බිරිඳගේ ගමන් මළු රැගෙන ගිය පෝටර්වරයාට පහර දීමක් ද සිදුකර ඇති බව වාර්තා වුණා. 

අදාළ ගමන් මළු රැගෙන ගිය පෝටර්වරයාට රාජ්‍ය අමාත්‍යවරයා නියමිත මුදල නොගෙවා ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

ඒ සම්බන්ධයෙන් පෝටර්වරයා කළ දැනුම්දීම මත රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඔහුට පහරදී ඇති බවද වාර්තා වුණා.

පහර කෑමට ලක්වූ එම පෝටර්වරයා එදින පැමිණිල්ලක් සිදුකිරීමට ගුවන් තොටුපොළ පොලිසිය වෙත ගොස් තිබෙනවා.

එහෙත් එම අවස්ථාවේ ස්ථානාධිපතිවරයා නොමැති බැවින් පසුව පැමිණ පැමිණිලි කරන ලෙසට එහි සිටි පොලිස් නිලධාරින් පවසා ඇති බවයි වාර්තා වුණේ.

පහර කෑමට ලක්වූ අලව්ව ප්‍රදේශයේ පදිංචි එම පෝටර්වරයා මෙතෙක් සේවයටද වාර්තා කර නැහැ. 

කෙසේවෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.