Saturday, July 27, 2024

General line - 0115112241

නවීන තාක්ෂණය සමඟ නවීන කෘෂිකර්මාන්තයට සූදානම් පෞද්ගලික ව්‍යවසායකයින්ට රජයේ පූර්ණ සහාය




කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති අතර එහි පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.

දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා බවයි කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ඉදිකළ හරිතාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

එම පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා පැවසුවේ සැළසුමකට අනුව නවීන කෘෂිකර්මාන්තය රටට හඳුන්වා දිමට කටයුතු කරන බවයි.

ඊට අවශ්‍ය මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් බවද එහිදී ප්‍රකාශ කෙරුණා.

මේ වෙනුවෙන් බැංකු ණය ක්‍රමවේදයක් යෝජනා කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.