Saturday, July 27, 2024

General line - 0115112241

තියුණු සටනකින් පසු දකුණු අප්‍රිකාව බංග්ලාදේශය පරදවයි




2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති “ඩී” කාණ්ඩයේ තරගයකින් තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 04කින් පරාජය කරමින්.

නිව්යෝක්හීදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කර ගැනීමට හැකිවුනේ ලකුණු 113ක් පමණයි.

දකුණු අප්‍රිකානු ඉනිමේ මුල් කඩුලු 04 ලකුණු 23ක් තුළ බිඳවැටුනා.

ඉන් අනතුරුව පිටියට එක් වූ හෙන්රිච් ක්ලාසන් සහ ඩේවිඩ් මිලර් පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 79ක අගනා සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුණා.

හෙන්රිච් ක්ලාසන් පන්දු 44කදී ලකුණු 46ක් රැස්කළා.

ඒ හතරේ පහර 02ක් සහ හයේ පහර 03ක් සමඟින්.

ඩේවිඩ් මිලර් පන්දු 38කදී ලකුණු 29යි. පන්දු යැවීමේදී ටන්සිම් හසන් ලකුණු 18කට කඩුලු 03ක් දවාගත්තා.

ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 04 ලකුණු 50ක් තුළ බිඳ වැටුනා.

ඉන් අනතුරුව පිටියට එක්වූ තවුහිඩ් රිඩෝයි සහ මහමදුල්ලා පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක සබඳතාවක් ගොඩනැගූව ද එය තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රමාණවත් වුනේ නැහැ.

තවුහිඩ් රිඩෝයි පන්දු 34කදී ලකුණු 37යි.

මහමදුල්ලා ලකුණු 20කට දැවී ගියා.

සෙසු බංග්ලාදේශ පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. 

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 07ක් දැවී රැස්කිරීමට හැකි වුණේ ලකුණු 109ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ලකුණු 04කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූ අතර “ඩී” කාණ්ඩයේ අපරාජිත බව රැකගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මේවන විට මෙම තරගාවලියේ සහභාගී වූ තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු 06ක් හිමිකරගෙන සිටිනවා.  

මෙම තරගය යම් හෙයකින් බංග්ලාදේශ කණ්ඩායම ජයගත්තේ නම් එය මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති අවස්ථාව තවදුරටත් අසීරු තත්ත්වයකට පත්කිරීමට හේතුවක් වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 08 වටයට පිවිසීමට නම් ඉතිරි වී ඇති තරග දෙකම ජයගත යුතු අතර බංග්ලාදේශ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම ඔවුන්ට ඉතිරිවී ඇති තරග දෙකෙන් එක් තරග බැගින් පරාජයට පත්විය යුතුයි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු වේගය ද බංග්ලාදේශය සහ නෙදර්ලන්ත කණ්ඩායමට වඩා වැඩි අගයක රඳවාගත යුතු වනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට රැඳී සිටින්නේ “ඩී” කාණ්ඩයේ අවසන් ස්ථානයේයි.