Sunday, October 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය,  ප්‍රමුඛ වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධාන ගත වෙයි.




ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් හා යුගයේ අවශ්‍යතාවයක් ඉටු කරමින් නව සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික දේශපාලන පක්ෂ, සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධානගත වී තිබෙනවා.

ඒ  අද (14) දින ‍බත්තරමුල්ල වෝටර්ස් ඒජ් ‍හෝටලයේදී.

පොදුජන එක්සත් පෙරමුණ 21 දෙනෙකුගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් යටතේ මෙය ක්‍රියාත්මක වේ. 

ඒඅනුව පොදුජන එක්සත් පෙරමුණේ නිලධාරි මණ්ඩලයේ ප්‍රධාන අනුශාසක ලෙස නව සන්ධානය නියෝජනය කරමින් ජෝන් සෙනවිරත්න, නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ලේකම් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න, භාණ්ඩාගාරික ලෙස නව සන්ධානයේ චාමර සම්පත් දසනායක, ජාතික සංවිධායකවරුන් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, නව සන්ධානයේ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සූරේෂ් රාඝවන්, නීතිඥ ෆයිසර් මුස්තාපා, නව සන්ධානය නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රෙම්ජයන්ත, ජෝන් සෙනවිරත්න, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න, නලින් ප්‍රනාන්දු, චාමර සම්පත් දසනායක, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, ජගත් ප්‍රියංකර, ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නාය‍ක ඩග්ලස් දේවානන්දා, ඉලංගෙයි මහජන කොංග්‍රසයෙන් ස්වාධීන වූ එස්.එම්.එම්. මුසාරෆ්, සමගි ජන බලවේගයෙන් ස්වාධීන වූ ඉෂාක් රහුමාන්, මුත්පෝක්කු තමිලර් කලකම් පක්ෂයෙන් ස්වාධීන වූ එස්.වියාලේන්ද්‍රන්, ජාතික නිදහස් පෙරමුණෙන් ස්වාධීන වූ මොහොමඩ් මුසම්මිල්, නිදහස් ජනතා සභාවෙන් ස්වාධීන වූ උදයන කිරිදිගොඩ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම ජාතික සංවිධානයේ ස්වාධීන වූ අනූප පැස්කුවල්, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නසිර් අහමඩ්, ස්වාධීන කණ්ඩායමක් ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ස්වාධීන කණ්ඩායමක් ලෙස හිටපු ශ්‍රි ලංකා ඉන්දියානු තානාපති මිලින්ද මොරගොඩ, නව ජනාතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර, දේශ විමුක්ති ජනතා පක්ෂයේ ඩී.කලංසූරිය යන මහත්වරන් පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධාන ගතවී සිටියි.

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ නිල වෙබ් අඩවියද මෙහිදී එළි දක්වනු ලැබීය. 

සැමට වෙනස් දැක්මක් සැමටම සුබවාදී අනාගතයක් යන මැයින් People’s Alliance වෙබ් අඩවිය එළි දක්වනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන‍ ලේකම් දුමින්ද දිසානායක 

" අද අපි අලුත් දේශපාලන ගමනකට මුල පුරනවා. අද විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ සිටින්නේ මෙරට සන්ධාන ඉතිහාසයේ අලුත් පිටුවක් සංකේතවත් කරන්න. 

සන්ධාන ඉතිහාසයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රබල ස්ථානයක් හැමදාමත් හිමි කර ගත්තා. 

මේ නිර්මාණය වන්නේ මෙරට දැවැන්තම සන්ධානයයි. පොදුජන එක්සත් පෙරමුණ ගොඩනගන මෙම සන්ධානය ඉදිරියේදී මුළු රටේම අනාගතය තීරණය කරන ප්‍රබල සාධකයක්. 

අපි ඕනෑම මැතිවරණයකට ඕනෑම අවස්ථාවක සූදානම්. පාර්ලිමේන්තුව තුළත් විශාලතම මන්ත්‍රී කණ්ඩායම අප සතුව සිටිනවා. . "

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා,

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ පැරණි සන්ධානය මේ රටේ දේශපාලනය තීරණාත්මක තැනකට අරන් ආ කඳවුරක්. පැරණි සන්ධානය නූතන යුගයට සරිලන පරිදි සකස් කර ගනිමින් ජනතා අභිලාෂයන් මුදුන් පමුණුවා ලීමට තීරණය කළා. ව්‍යවස්ථාව වෙනස් කරමින් නීතිමය තත්ත්වයන් සංශෝධනය කරමින් අපි අලුත් සන්ධානයක් ගොඩනැගුවා. 

පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා

අපි පසුගිය කාලය තුළ විශාල කාලයක් වෙන් කළා අලුත් දේශපාලන වැඩපිළිවෙලක් වෙනුවෙන් අපේ සන්ධානයේ විශේෂත්වය තමා නායකත්ව මණ්ඩලයක් තුළින් සියලු දෙනා සමගම සාකච්ජා කිරීම. අපි ලග විශේෂත්වයක් තියෙනවා. ප්‍රජාතන්තවාදය වඩාත් පුළුල් ලෙස ක්‍රියාවට නැංවීම. මෙරට දේශපාලන ඉතිහාසය තුළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට උරුමයක් තිබෙනවා පොදුජන අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන්.