Thursday, November 14, 2024

General line - 0115112241

ඉබෝලා රෝගයට වඩා දරුණු වෛරසයක් රුවන්ඩාවේ පැතිරෙයි




මේ දිනවල රුවන්ඩාවේ “මර්බර්ග්” නමැති වෛරසයක් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එම වෛරසය හේතුවෙන් රුවන්ඩාවේ පුද්ගලයන්11 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

රුවන්ඩාවේ අගනගරය වන කිගාලි නගරයේ සෞඛ්‍ය සේවකයින් තුළ එම වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් වෛරසය පිළිබඳව පර්යේෂණාත්මක එන්නත් සහ ප්‍රතිකාර පිළිබඳ සායනික අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් “මර්බර්ග්” වෛරසයට එරෙහිව ප්‍රතිකාර හෝ එන්නත් මේ වන තෙක් හඳුනාගෙන නොමැති බවයි විදෙස් මාධය වැඩිදුරටත් සඳහන් කළේ.

“මර්බර්ග්” නමැති වෛරසය ඉබෝලා වෛරස් කාණ්ඩයට අයත් වෛරසයක් වන අතර එය ඉබෝලා රෝගයට වඩා මාරාන්තික විය හැකි බවයි වාර්තා වන්නේ.

මෙම වෛරසය 1967 වර්ෂයේ ජර්මනියේ මර්බර්ග් නගරයෙන් ප්‍රථමවරට හඳුනා ගත් බැවින් එය “මර්බර්ග්” වෛරසය ලෙස හඳුන්වා තිබෙනවා.

එම වෛරසය වැළඳෙන සියලු දෙනාගෙන් අඩක් පමණ එයින් මිය යන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පුද්ගලයෙකු වෛරසයට නිරාවරණය වූ පසු රෝග ලක්ෂණ පෙන්වීමට දින දෙකත් 21ත් අතර කාලයක් ගත වීමට හැකියාවක් පවතිනවා.

වමනය හෝ මළපහ මගින් ලේ ගැලීම සහ නාසයෙන්, වීදුරුමස් සහ යෝනි මාර්ගයෙන් ලේ ගැලීම මර්බර්ග් වෛරසයේ රෝග ලක්ෂණ බවයි සඳහන් වන්නේ.