Thursday, December 5, 2024

General line - 0115112241

පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ නීතිඥවරියක් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදාහරි

උදය කුමාර




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ නීතිඥවරියක් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසයි අධිකරණ නියෝග කළේ.

අන්තර්ජාලය ඔස්සේ කොරියානු ජාතිකයෙකුගේ රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ කොරියානු ජාතිකයා මෙවැනි මුදල් වංචාවක් සිදු වූ බවට කිසිදු පැමිණිල්ලක් පොලිසියට හෝ අපරාධ විමර්ශන ආයතනයකට සිදු කර නොමැති බව සඳහන් කළා.

පොලිසිය නිසියාකාරව විමර්ශන කිරීමකින් තොරව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දුන්නා.

කෙසේවෙතත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙරට කොරියානු තානාපති කාර්යාලය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ඇප මත මුදා හැරීමට නියෝග කළා.