Tuesday, May 21, 2024

General line - 0115112241

බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුගේ පවුලේ සාමාජිකයින්ගේ වීසා අහෝසි කරන ලෙස ඉල්ලීමක්




බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුගේ පවුලේ සාමාජිකයින් වෙත නිකුත් කර ඇති වීසා බලපත‍්‍ර අහෝසි කරන්නැයි ගෝලීය දෙමළ සංසදය බි‍්‍රතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා. 

ඔවුන් යොමු කළ ලිපියක දැක්වෙන්නේ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු ශ‍්‍රී ලංකාවට යැවීම පිළිබඳ සතුට පළ කරන බවයි. එමෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වීසා අහෝසි කරන ලෙසටයි ගෝලීය දෙමළ සංසදය සිය ලිපිය මගින් ඉල්ලා ඇත්තේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය අද (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කෙරුණා. ඊට සහභාගී වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර කියා සිටියේ මෙරට බ්‍රිතාන්‍ය තානාපතිවරයා  කැඳවා ඔහුට තරහේ අවවාද කළ යුතු බවයි.

මෙම සිද්ධිය ශ‍්‍රී ලංකාවේ අභිමානයට කැළැලක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු ඉකුත්දා මෙරටට පැමිණියා. ඒ, කරන ලද කැඳවීමකට අනුවයි. 

ශ‍්‍රී ලංකාවේ 70 වන නිදහස යෙදී තිබූ දිනයේ ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසකට සිය නිල ඇඳුමේ සිංහ ධජය පෙන්වා ඔහු විසින් අභිනයක් කිරීමේ සිද්ධිය දැඩි ආන්දෝලනයක් ඇති කළා.

මේ අතර රට බෙදන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය නතර කරන බවට ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශයක් කළ යුතු බව ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය පවසනවා. 
එහි ශ‍්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.