Tuesday, May 21, 2024

General line - 0115112241

අම්පාරේ ගැටුම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 04ක්

හේමන්ත කහවලගේ




අම්පාර නගරයේ ඇති වූ උණුසුම් තත්වය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකිරීම සදහා පොලිස් කණ්ඩායම් 4 ක් පත්කර තිබෙනවා. ඒ, සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන්. ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා පොලීසිය, පොලිස් විශේෂ බලකාය සහ යුද හමුදාව තවදුරටත් යොදවා සිටිනවා. 

අම්පාර නගරයේ පිහිටි ආපන ශාලාවකින් ආහාර ගැනීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට ලබාදුන් ආහාරවල කිසියම් පෙති වර්ගයක් තිබීමත් සමග දෙපිරිසක් අතර පෙරේදා (26) රාත‍්‍රියේ ගැටුම්කාරී තත්වයක් ඇති වුණා. අවමංගල්‍ය උත්සවයකට සහභාගි වි ඇති ඔවුන් දෙදෙනා මෙම ආපන ශාලාවට පැමිණ ඇත්තේ රාති‍්‍ර ආහාරය සදහායි. එහිදී බුරියානි සහ ෆයිඞ් රයිස් ඉල්ලා ඇතත් ඒවා නොමැති බව පවසා ආපන ශාලාවෙන් ඔවුන්ට කොත්තු ලබාදී තිබුණා.

එහි කිසියම් පෙති වර්ගයක් තිබූ බව පවසන ඔවුන් අවමංගල්‍ය උත්සවයට එක්ව සිටි සෙසු පිරිස් ද එම ස්ථානයට කැදවා ඇති බවයි මූලික පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ. ඉන් අනතුරුව එම ස්ථානයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. එහිදී වෙළඳසැල් හා වාහන කිහිපයකට ද හානි සිදුව ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබෙනවා. එහි දැක්වෙන්නේ මෙම ආහාරයේ තිබී ඇත්තේ වද භාවයට ලක්කළ හැකි කිසියම් පෙති වර්ගයක් බවයි. 

ගැටුමට මුල් වූ ආහාර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට ද පියවර ගෙන ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. කළහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට ගැනීම ස`දහා පරීක්ෂණ ක‍්‍රියාත්මක බවද පොලිසිය පැවසුවා.