Tuesday, May 21, 2024

General line - 0115112241

පර්පචුවල් හිමිකරුට අදත් ඇප නැත




2015 වර්ෂයේ පෙබරවාරි මස 27 දා සිදු වූ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පර්පෙචුවල් ට‍්‍රසෙරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්  සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අය ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ප‍්‍රතිශෝධන පෙත්සම මාර්තු මස 9 දා ට කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයාට නොතීසි නිකුත් කරනවාද යන්න නියෝගය මාර්තු මස 9 දා නිකුත් කරන බව මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න දන්වා සිටියා.

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අය ඇප මත මුදා හරින ලෙසට කළ ඉල්ලීම පසුගිය පෙබරවාරි මස 16 දා   කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇති බවත් එම නියෝගය දෝෂ සහිත බවට මෙම ප‍්‍රතිශෝධන පෙත්සමෙන් පවසා සිටිනවා.

මෙම පෙත්සමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයාද වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබෙනවා.

අර්ජුන් ඇලෝසියස් පර්පෙචුවල් ට‍්‍රසෙරිස්  සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අය මාර්තු මස 2 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව  මහේස්ත‍්‍රාත්වරිය මීට පෙර  නියෝග කළා.

සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් ඔවුන් ඇප මත මුදාහැරීමට තරම් සුවිශේෂි කරුණු අධිකරණයේ අනාවරණය නොවන බවට මහේස්ත‍්‍රාත්වරිය පවසා සිටියා.