Tuesday, May 21, 2024

General line - 0115112241

අග‍්‍රාමාත්‍යවරයාගේ අකටයුතුකම් වලට එරෙහිව සහාය දෙනවා - මන්ත්‍රී අනුරකුමාර




විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ සත්‍ය ලෙසම අග‍්‍රාමාත්‍යවරයාගේ අකටයුතුකම් වලට එරෙහිව නම් ඊට සහාය දක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

කෙසේ වෙතත් දේශපාලන බල අරගලයක් සඳහා තම සහාය ලබා නොදෙන බවයි ඔවුන් අවධාරණය කළේ. දේශපාලන බල අරගලයක් සිදු කරනු වෙනුවට ආණ්ඩුව දැන් කළ යුත්තේ උග‍්‍ර වෙමින් තිබෙන ආර්ථික ප‍්‍රශ්ණ කඩිනමින් විසඳාලීම බවද මෙහිදී ඔහු කියා සිටියා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණ අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ශි‍්‍ර ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ යහපාලන ජාතික ආණ්ඩුව ජාතික සමගිය තහවුරු කරමින් හා ශක්තිමත් ආර්ථිකයක් ස්ථාපිත කරමින් නව අග‍්‍රාමාත්‍යවරයෙකු ඉදිරියේ පෙරට යායුතු බවයි.

කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් මන්තී‍්‍රවරුන් පළකරන අදහස් සම්බන්ධයෙන් අදත් විවිධ ප‍්‍රතිචාර පළ වුණා. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ පීළිබඳ අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සමග කරුණු සාකච්ඡා කරන බවයි.