Tuesday, May 21, 2024

General line - 0115112241

පක්ෂ පැත්තකින් තියලා රට හදන්න ආපු අය ගැන දේශපාලන විචාරකයින් කියන කතාව

ඩිල්ෂාන් මඩවල




දේශපාලන පක්ෂවල අභ්‍යන්තර අර්බුධ අවාසනාත්මක වශයෙන් රට කෙරෙහිද නරක බලපෑම් ඇති කරන බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

මෙරට ප‍්‍රධාන දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට ලක්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත්, එත්සත් ජාතික පක්ෂයත් මේ වනවිට අභ්‍යන්තර අර්බුධ නිසා දෙදරා යමින් තිබෙන බවයි ඇතැම් අය පවසන්නේ. ඒ පිළිබඳ දේශපාලන විචාරකයන්ගෙන් කළ විමසීමකදී ඉහත අදහස් පළ කෙරුණා.

දේශපාලන පක්ෂවල අභ්‍යන්තර අර්බුධ රට කෙරෙහි නරක ප‍්‍රතිඵල ඇති කළ බවට ජාත්‍යන්තර උදාහරණ කිහිපයක්ද මෙහිදී විස්තර කෙරුණා.

දේශපාලන විචාරක මොහාන් සමරනායක පෙන්වා දුන්නේ "80 දශකයේ අග භාගයේදී මෙන්ම 90 දශකයේ මුල් භාගයේදී ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන කොංග්‍රස් පක්ෂයේ ඇති වූ අර්බුධය ඒ රටට අහිතකර ලෙස බලපෑවා. අපේ රටෙත් මෙවැනි අර්බුධ ජනතාවට අහිතකර ලෙස බලපානවා. රට, ආර්ථිකය අස්ථාවර වෙනවා. විදේශ ආයෝජකයන් රටට පැමිණීමට සහ රටේ රැඳී සිටීමට අහිතකර ලෙස බලපානවා." යනුවෙනි.

සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු පෙන්වා දුන්නේ "අපිට දැන් දකින්න පුළුවන් රට හදන්න කියලා තමන්ගේ පක්ෂ පැත්තකින් තියලා ආපු උදවිය දැන් රට පැත්තකින් තියලා තම තමන්ගේ පක්ෂ බාදාගෙන දැන් ඒ පක්ෂ දිනවීමේ තත්ත්වයකට ගිහින් තියෙනවා." යනුවෙනි.

බොහෝ දේශපාලන පක්ෂ මේවනවිට කටයුතු කරමින් සිටින්නේ රට පිළිබඳ සිතා නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

රටට හිතැති කුමන හෝ දේශපාලනඥයෙකු වේනම් ඔවුන් කළ යුත්තේ පෞද්ගලික අරමුණුවලට හෝ පක්ෂයට නොව රටේ යහපතට ප‍්‍රමුඛතාව ලබා දීම බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව ගනු ලබන සෑම තීරණයකදීම රටට විය හැකි බලපෑම පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතු බවයි යෝජනා කෙරුණේ.