හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අගෝස්තු 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, මඩකලපුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ඒ. තර්ෂිනී මහත්මිය විසින් ලබාදුන් නියෝගයක් මතයි.
පිල්ලෙයාන් අද ඔන්ලයින් ක්‍රමවේදය හරහා මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සිදුවූ මිනීමැරුම් පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ සැකකරු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරනු ලැබුවා.
ඒ අනුව 2008 වසරේදී මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, එම වසරේදී මැයි 22 වන දින පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ එම වසරේ අගෝස්තු 20 වැනි දින වවුනියාව ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතන කිරීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට එරෙහිව නඩු ගොනු කර තිබෙනවා.




