අද ලෝක අලි දිනය සමරණ මේ මොහොතේ අප රටේ අලි සම්පත බරපතල ගැටලුවලට මුහුණ දෙන බවත් අලි ඇතුන් ක්‍රමානුකූලව විනාශ වෙමින් යන අප රටේ අලි සම්පත සුරක්ෂා කරන්නට දිවි හිමියෙන් කටයුතු කළ යුතු බවත් රටේ වන අලි මිනිස් ගැටුම නිසා එක් පැත්තකින් අලි ඇතුන් අහිමි වන විට තවත් පැත්තකින් මිනිස් ජීවිත දේපල අහිමි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අද කියා සිටියේ ලෝක අලි දිනය වෙනුවෙන් උඩවලව ජාතික වනඋද්‍යානය අසළ දී විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි. එම නිසා මේ ගැටලුවට තිරසර විසඳුමක් අද වන තෙක් ලැබී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පවසා සිටියා. අප රටේ අලි මිනිස් ගැටුම කළමනාකරණය කරන්නට අප දැනට නිර්මාණය වී ඇති සංරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රම ක්‍රමයෙන් හෝ දියත් කර ඒ තුළින් බරපතල තත්ත්වයක් නිර්මාණය වී ඇති මොහොතක තරමක් දුරට හෝ එය කළමනාකරණය කළ හැකි බවද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා. තවද මේ වන අලි සම්පත අප රටේ පරිසර කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක කිරීමටත් ඒ හරහා ජනතාවගේ ජන ජිවිතය උසස් මට්ටමකට ගෙන ඒමටත් ජීවනෝපාය ලෙස පරිසර කේන්ද්‍රීය වන ජීවී සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බවයි විපක්ෂ නායකවරයා පවසා සිටියේ. එසේම මේ උතුම් සම්පත සුරක්ෂා කර ගෙන මතු පරපුරට අප රටේ ස්වාභාවික සම්පත පරිසරය දායාද කළ හැකි බවත් ලෝක අලි දිනය සමරණ මේ මොහොතේ වන අලි මිනිස් ගැටුම කළමනාකරණය කරමින් අප රටේ අලි සම්පත සුරක්ෂා කරන්නට රටක් ලෙස ඒකරාශී විය යුතු බවත් වන අලි මිනිස් ගැටුම ක්‍රමානුකූල කළමනාකරණයට ලක් කර ඒ තුළින් මිනිස් ජිවිත හා දේපල වගා ආදිය රැකගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ.