G7 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සහ ස්ලෝවැකියාවේ නිල රාජ්‍ය සංචාරයක නිරත වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවදිල්ලියෙන් පිටත්ව ගියේය.
නිදහසින් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ස්ලෝවැකියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ විශේෂ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය මෝදි ජූනි 13-14 දක්වා ප්‍රංශයේ නීස් නුවරද, ජූනි 16-19 දක්වා එවියන් සහ පැරිස් නුවරද නිල සංචාරයන්හි නිරත වීමට නියමිතය.
සංචාරයේ පළමු අදියර ලෙස සඳුදා දිනයේදී නීස් නුවරදී ප්‍රංශ ජනාධිපතිවරයා හමුවන ඉන්දීය අගමැතිවරයා, මේ වසරේ මුලදී 'විශේෂ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයක්' දක්වා ඉහළ නංවන ලද ඉන්දු-ප්‍රංශ ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිතය.
එමෙන්ම, දෙරටේ නායකයන් එක්ව එහිදී 'භාරත් ඉනොවේට්ස්' නමැති සුවිශේෂී උත්සවයක් ද විවෘත කරනු ඇත.
ඉන්දියාව, ප්‍රංශය ඇතුළු රටවල් රැසක ප්‍රමුඛ පෙළේ නවෝත්පාදන ව්‍යාපාර සහ ව්‍යවසායක ප්‍රාග්ධන අරමුදල් මේ සඳහා එක්වීමට නියමිතය.
"ඉන්දු-ප්‍රංශ නවෝත්පාදන වර්ෂය" වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම ප්‍රධාන උත්සවය හරහා දෙරට අතර පවතින සක්‍රීය නවෝත්පාදන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
සංචාරයේ දෙවන අදියර ලෙස, ස්ලෝවැක් ජනරජයේ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය මෝදි ජූනි 14 සිට 16 දක්වා එහි රාජ්‍ය සංචාරයක නිරත වේ.
1993 වසරේ ස්ලෝවැකියාව නිදහස ලැබීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු එහි යන පළමු අවස්ථාව මෙය බව අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කරයි.
මෙම සංචාරය සිදුවන්නේ 2025 අප්‍රේල් මාසයේදී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු ස්ලෝවැකියාවේ සිදුකළ රාජ්‍ය සංචාරයට සහ 2026 පෙබරවාරි මාසයේදී පැවැත්වුණු 'කෘත්‍රිම බුද්ධි බලපෑම් සමුළුව' සඳහා ස්ලෝවැක් ජනාධිපති පීටර් පෙලෙග්‍රිනි ඉන්දියාවට පැමිණීමෙන් අනතුරුව වීම ද විශේෂත්වයකි.



