අධිවේගී මාර්ගවල පැයට කිලෝමීටර සියයට අධික වේගයෙන් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් දෛනිකව නිරීක්‍ෂණය කරන බව පොලිසිය පවසනවා.

රථ වාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධිර මහතා පැවසුවේ උපරිම වේග සීමා ඉක්මවා රිය ධාවනය කරන රියදුරන් සියයකට වැඩි පිරිසක් දෛනිකව හදුනා ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
"විශේෂයෙන්ම අපි අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරු මහතුන්ට විශේෂයෙන් කියන්නේ, මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය නිසා පැයට කිලෝමීටර් 100 ට වඩා වේගයෙන් ගමන් කරන්න එපා. අපි දෛනිකව අධික වේගයෙන් ගමන් කරන, කිලෝමීටර් 100 ඉක්මවා ගමන් කරන වාහන 100 කට වැඩි ප්‍රමාණයක් අපි දෛනිකව අපි නඩු ගැනීම් කරනවා. ඒකෙනුත් 120 පන්නලා යන ඒවා, අධිකරණයට ඉදිරිපත් කරන ඒවාත් සෑහෙන ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ සියලු දෙනාට මේක අපි අධික වේගයෙන් ගමන් කරන්න එපා කියන කාරණාව කියනවා. ඒ වගේම සාමාන්‍ය මාර්ගවල ගමන් කරන ජනතාවටත් රියදුරන්ටත් කියන්නේ විශේෂයෙන් යතුරුපැදිවල ගමන් කරන අයටත් කාරණාව පැහැදිලිව මතක් කරනවා. විශේෂයෙන්ම අධික වැසි තත්ත්වයක් තියෙනවා නම්, අඳුරු තත්ත්වයක් තියෙනවා නම්, අපි යතුරුපැදි අයටත් කියන්නේ හෙඩ් ලයිට් (Headlight) එක පත්තු කරගෙන යන්න. සහ මීදුම සහිත තත්ත්වයක් තියෙනවා නම් ෆොග් ලයිට් (Fog light) එක පත්තු කරගෙන යන්න කියන කාරණාවයි කියන්නේ. විශේෂයෙන්ම නැවත වතාවක් මතක් කරනවා, මේ අනතුරුවලින් වෙන බරපතල මාරක අනතුරු වළක්වා ගන්න පුළුවන් මේ සීට් බෙල්ට් (Seat belt) නීතිය ක්‍රියාත්මක කිරීම තුළින්."

අධිවේගී මාර්ගවල ආසන පටි නීතියද මේ වන විට දැඩිව කියාත්මක කෙරෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලනිගම අතර කිලෝමිටර් 19 පරගස්තොට ප්‍රදේශයේදී ඊයේ සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින්ට දැඩි බලපෑමක් සිදු නොවූයේ ආසන පටි පැළඳ සිටීම හේතුවෙන් බවද රථ වාහන හා මාර්ග ආරක්ෂාව දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධිර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

"විශේෂයෙන්ම අපි පැහැදිලිවම කිව්වා අධිවේගී මාර්ගයේ සීට් බෙල්ට් (Seat belt) නීතිය අපි 20 වෙනි දින සිට අපි ක්‍රියාත්මක කරා තදින්ම. විශේෂයෙන්ම මේ ක්‍රියාත්මක කිරීමේදී සීට් බෙල්ට් නැති වාහන ගණනාවක් හරවන්නත් සිද්ධ වුණා. විශේෂයෙන්ම අපි ඇත්ත වශයෙන්ම ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ඒ ඒ බස් රථයේ ගමන් කරපු ඒ ළමයි සියලු දෙනාම සීට් බෙල්ට් පැළඳගෙන හිටපු නිසා තමයි මේක මේ සුළු තුවාල වලින් ඒ ළමයි අපිව බේරගන්න පුළුවන් වුණේ. විශේෂයෙන් අනෙකුත් වාහන වලත් ඒ වෙච්ච ඩැමේජස් (Damages) ගොඩාක් අඩුවෙන්න ඒ තුවාල බරපතල තුවාල තත්ත්වයට පත්වෙන එක අඩු වුණේ ඒ අය සීට් බෙල්ට් පැළඳගෙන සිටි නිසයි. අපි විශේෂයෙන්ම මේ සීට් බෙල්ට් නීතිය රජය විසින් පනවලා තියෙන්නේ මහජනතාවගේ ආරක්ෂාවට කියන කාරණාව මෙතනින් මේ අනතුර නිසා සිදුවෙච්ච තුවාල නිසා අපිට ඒක පැහැදිලිව පේනවා. කිසිම කෙනෙකුට බරපතල තුවාල තත්ත්වයක් නැහැ. ඒ ඒ තුවාල තත්ත්වයන් නැතිවෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ සීට් බෙල්ට් පැළඳ සිටි නිසයි. සීට් බෙල්ට් පැළඳ සිටියේ නැත්නම් මීට වඩා බරපතල තුවාල තත්ත්වයක් ඇතිවෙලා වෙන්න අවස්ථාව තිබ්බා."