ඕනෑම රටක සංවර්ධනයේදී ඒ රට සහ සමාජය ගොඩනැගුණු ඓතිහාසික සංස්කෘතිකමය පදනම වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ලෝකය මොන තරම් පරිවර්තන ඇති කරගත්තද අපේ රට ඉදිරියට යා යුතු වන්නේ රටේ ඓතිහාසික පවුරු පදනම් ආරක්ෂා කර ගනිමින් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ ඊයේ පැවති අවසන් මහා පෙරහර වෙනුවෙන් පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.

"ඕනෑම සමාජයක් රටක් පවතින්නේ ඒ රටට ඒ සමාජයට අනන්‍ය වූ සංස්කෘතිකමය පදනමක් තිබෙනවා. මේ යුගය ගත්තොත් ලෝකයේ තාක්ෂණයේ විද්‍යාවේ විශාල පිම්මේ වර්ධනයක් පෙන්නුම් කරන යුගයක්. ඒ අපේ රටේ සන්නිවේදනයට, අපේ රටේ ඒ ලෝකයේ සාහිත්‍යයට, ලෝකයේ කලාවට විශාල පරිවර්තනීය යුගයක් මේ තාක්ෂණික මෙවලම් වලින් ඇති කරනවා. අපිට පුළුවනි එම මෙවලම් මත පදනම්ව අවශ්‍ය නම් අපේ රටේ මාතෘභූමියත් එක්ක කිසිදු අහින්ද්‍රිය සබඳතාවයක් නැති පාවෙන මිනිස් සමාජයක් බිහි කරන්න පුළුවන්. නමුත් එය රටක් ඉදිරිට ඉදිරියට යාමක් නොවෙයි. ඕනෑම රටක සංවර්ධනයේදී ඉතාමත් වැදගත් ඒ රට ගොඩනැගුණු ඒ සමාජයේ ගොඩනැගුණු ඓතිහාසික සංස්කෘතිකමය පදනම වැදගත්. මොනතරම් ලෝකයේ පරිවර්තනයන් අත්පත් කර ගත්තත් අපේ රට අපේ රාජ්‍යය ඉදිරියට යා යුතු වන්නේ එම අපේ ඓතිහාසික පවුරු පදනම් ආරක්ෂා කරගනිමින්. එහෙම නැත්නම් මේ මිනිස් සමාජයේ මේ මහපොළොවත් එක්ක තිබෙනවා අහින්ද්‍රිය සබඳතාවය බිඳගත්තූ පාවෙන සමාජයක් බවට පරිවර්තනය වෙනවා. එය රටක අනන්‍යතාවය, එය සමාජයක ගෞරවත්වය සියල්ල විනාශයට පත් කරනවා."

නව යෞවන තරුණ තරුණියන් ඓතිහාසික උරුමයන් තවදුරටත් පවත්වාගෙන යාමේ අභියෝගය භාරගෙන ඇති බවයි ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් පැවසුවේ.

"අවුරුදු 2187ක් කියන්නේ අපේ පරම්පරා සියයකට අධික පරම්පරා ගණනාවක් මේ ඓතිහාසික මංගල්ලයත් එක්ක සම්බන්ධ වී තිබෙනවා. ඒ නිසා සමාජයක් අවිච්චින්නව පවතින්නේ එම සංස්කෘතික උරුමයන් සමඟ අවිච්චින්නව පැවතුනොත් විතරයි. ඒ නිසා මං හිතනවා වාර්ෂිකව පවත්වන මේ රුහුණු කතරගම මහා දේවාලයේ මේ පෙරහැර මංගල්ලය, අපේ ඓතිහාසික උරුමයන්, අපේ රට ගොඩනැගී තිබෙන සංස්කෘතික පදනම් ආරක්ෂා කරගනිමින්, අනාගත පරම්පරාව වෙනුවෙන් එම සංස්කෘතික උරුමයන් උරුම කරදෙන ඉතාමත් ඓතිහාසික අවස්ථාවක්. විශේෂයෙන්ම අපේ සමාජය දෙස බලපුවාම අපිට දැනෙනවා අලුත් තරුණ පරම්පරාව මෙම සංස්කෘතික උරුමයන්ගෙන් ඈත් වෙනවාද කියලා, අලුත් තරුණ පරම්පරාව මෙම සංස්කෘතික බැඳීම්වලින් බිඳෙනවාද කියලා. එහෙත් මේ පෙරහැර දෙස බලාගෙන හිටපුවාම අපිට දැනෙන්නේ කුමක්ද? නව යොවුන් තරුණ තරුණියන් දහස් ගණනක් අපේ අතීත මුතුන්මිත්තන්ගේ සංස්කෘතික උරුමයන් පෙරදැරි කරගෙන මෙම පෙරහැර මංගල්ලයේ ගමන් කරන බව අපි දකිනවා. එයින් අපිට පෙන්නුම් කරන්නේ කුමක්ද? මේ නව යොවුන් තරුණ තරුණියන් මේ ඓතිහාසික උරුමයන් තවත් චිරාත් කාලයක් පවත්වාගෙන යන්න ඒ අභියෝගය ඔවුන් භාරගෙන තිබෙන බවත්, ඒ අභියෝගය සාර්ථකව නිමා කරන්නත් හැකියාව තිබෙන බව තමයි ඔවුන් පෙන්නුම් කරලා තිබෙන්නේ."

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර නැරඹීමට ද එක් වුණා.