2011 වසරේ අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන හබයාස් කෝපුස් නඩුකරයට අදාළව සාක්ෂි දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥවරු මාර්ගයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

මෙම කරුණට අදාළ අභියාචනා පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළා.

කෙසේ වෙතත් පවතින ආරක්ෂක හේතූන් මත තම සේවා දායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි දීමට අපහසු බවත් කොළඹ අධිකරණයක තම සේවා දායකයා සාක්ෂි ලබාදීමට සූදානම් බවත් ජනාධිපති නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.

එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාට දැනුම් දුන්නේ මෙම ඉල්ලීම අද දින සිට සති හතරක් තුළ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සුදුසු නියෝග ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

තම සේවා දායකයා අධිකරණය හමුවේ සාක්ෂි දීමට සූදානම් බැවින් මෙම නඩුකරයේ විභාගය අවසන් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට පෙත්සම්කාර අතුරුදන් වූවන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ මහතාද ඒකකතාවය පළකළා.

ඒ අනුව එම අභියාචනා පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණයක් තීන්දු කළා.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

2011 වසරේ දෙසැම්බර් මස 09 වනදා ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුකරයට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස 2019 වසරේ එවක හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිතාසි නිකුත් කර තිබුණා.

ආරක්ෂක හේතුන් මත තමන්ට යාපනය අධිකරණයට ගොස් සාක්ෂි දීමට නොහැකි බව සඳහන් කරමින් එම සිතාසි නිකුත් කිරීමේ තීරණයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

එම පෙත්සම විභාග කළ අභියචනාදීකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට සාක්ෂි දීම සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කරන සිතාසිය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබුණා.

අභියාචනාධිකරණයේ එම තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළා.