කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ චීනයේ බලා පිටත්ව ගියා.

අග්‍රාමාත්‍යවරිය සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු ද පිටත්ව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව අග්‍රාමාත්‍යවරිය ඇතුළු පිරිස ඊයේ රාත්‍රී 10.15ට කටුනායක ගුවන් තොටුපොළෙන් චීන් ගුවන් සේවයේ ගුවන් යානයකින් චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව ගියා.

“2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව” චීනයේ බීජිංහිදී පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරිය මේ සඳහා සහභාගි වන්නේ මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයකට අනුවයි.

ඒ අනුව අද සිට එළඹෙන 15 වනදා දක්වා අග්‍රාමාත්‍යතුමිය චීනයේ සංචාරය කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය විසින් චීන රජය සහ බීජිංහි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන “එක් අනාගතයක් - කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්” යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමටද නියමිතව තිබෙනවා.

මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැද මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යතුමිය සහභාගී වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ.