Published
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් සියලු ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය තහවුරු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් නව තලයකට ඔසවා තැබෙන වැඩපිළිවෙළක් බවයි. ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය හඳුන්වා දීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
තවදුරටත් සිර කළ ජීවිතයක් වෙනුවට, නිදහස් පරිසරයක තමන්ගේ දෛනික අවශ්‍යතා සපුරාගත හැකි මෙවලම් මෙම ඩිජිටල්කරණයෙන් නිර්මාණය වන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ. අද ආරම්භ කෙරුණු ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් පවත්වා ගෙන යන ආයතන 37ක් දවසේ පැය 24 පුරා නිරික්ෂණය කරමින්, ඒවාට එල්ල වන සයිබර් ප්‍රහාර හදුනාගැනීමට කටයුතු කරනු ඇති. සයිබර් තර්ජන, අවදානම් සහ ආක්‍රමණ අඛණ්ඩව නිරීක්ෂණය කිරීමෙන් සහ සුදුසු පාර්ශ්වකරුවන්ට වහාම දැනුම් දීමෙන් රජයේ සයිබර් පද්ධති සහ පොදු ඩිජිටල් සේවා ආරක්ෂා කිරීම මෙහි වගකීමයි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පද්ධතියේ ආරක්ෂාව සහ ඔරොත්තූ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම, සයිබර් සහ අවදානම් සඳහා පුර්ව අනතුරු ඇඟවීම සහ වේගවත් ප්‍රතිචාර සැපයීම මෙහි ප්‍රතිලාභ වනවා. ආරක්ෂිත ඩිජිටල් මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයට සහාය වීම සහ දැනුවත් කිරීම මෙම මධ්‍යස්ථානය මගින් සිදු කරනු ඇති.

















