ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ තරඟ අදින් ආරම්භ වනවා. ඒ අනුව පළමු තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි. එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට ඩුබායි ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි. අද තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා ඉහළ මානසිකත්වයකින් තරඟවැදීමට සූදානමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පැවසුවේ.

මේ අතර, සිය පියාට අවසන් ගෞරව දැක්වීම සඳහා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද අලුයම ඩුබායි බලා පිටත්ව ගියා. දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඔහු පැවසුවේ සිය පියා ජීවත්ව සිටියදී තමන්ගෙන් අපේක්‍ෂා කළ සිහිනය ඉටු කිරීමට කටයුතු කරන බවයි. සිය පියාගේ අභාවය සැලවීමත් සමග ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටි දුනිත් වෙල්ලාලගේ ඊයේ උදෑසන දිවයිනට පැමිණියා. ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ද මෙරටට පැමිණ තිබුණා. දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාගේ මහතා අභාවප්‍රාප්ත වුණේ පසුගිය 18 වනදා රාත්‍රියේදීයි. මියයන විට ඔහු 54 හැවිරිදි වියේ පසුවුණා. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු එලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.