2022 වසරේ මැයි මස ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
එම සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා දන්වා සිටියේ. ඒ, අරගලකරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05ක් කැඳවූ අවස්ථාවේදීයි. 2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගේ ගම අරගලයට පහරදීම සිදුවූ අවස්ථාවේ එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළින් පොලිසිය ඇතුළු වග උත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණා. ඒවා කැඳවනු ලැබුවේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන වලට අදාළව අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බවයි. එහෙත් එම අතුරු තහනම් නියෝගය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බවත් ඒ අනුව ඉදිරි විමර්ශන සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නා.
ඒ යටතේ මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ළඟදීම අධි චෝදනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් රජයේ නීතිඥවරයා දන්වා සිටියා. මෙහිදී අගවිනිසුරුවරයා විසින් රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, එම හඳුනාගත් සැකකරුවන්ට එරෙහිව කුමන නීතියක් යටතේ නඩු පවරනවා දැයි විමසුවා. ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ඉදිරිපත් කරන බවයි.
තවදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා මෙසේ හඳුනාගත් සැකකරුවන් අතර එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඇතුළත් වන බවත් කියා සිටියා. මෙම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධිය හටගත් අවස්ථාවේ පොලිසිය අකර්මණ්‍ය ලෙස කටයුතු කිරීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වූ බව පෙන්වා දුන්නා.
ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ සිද්ධිය වූ අවස්ථාවේදී භූමියේ සැලකිය යුතු පොලිස් නිලධාරීන් පිරිසක් සහ ජල ප්‍රහාරක රථ සියල්ල තිබූ බවයි. එහෙත් ඒවා නිසි ලෙස ක්රියාවේ යෙදවීමක් සිදු නොවූ බවත් එම කටයුතු පැහැර හැරීම සම්බන්ධයෙන් එවක භූමියේ සිටි ජ්‍යේෂ්ඨම පොලිස් නිලධාරියා වන එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.
එම අවස්ථාවේදී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්රම මහතා සඳහන් කර සිටියේ තම සේවා දායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ නඩුවක් ගොනුකිරීමට සූදානම් වන අවස්ථාවේ මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුනහොත් දැඩි අගතියක් සිදුවන බව සඳහන් කර සිටියා.
එම නිසා අපරාධ නඩු කටයුතු සිදුවන ආකාරය විමසීමෙන් පසුව මෙම පෙත්සම් සලකා බැලීම සුදුසු බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ යෝජනා කළා. ඉන් අනතුරුව පෙත්සම් විභාගය සිදු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබුවා.
මෙහි පෙත්සම් කිහිපයක වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව අපරාධ නඩු ගොනු කිරීමක් සිදු නොවන හෙයින් ඔවුන්ට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පවත්වාගෙන නොයාමට ද පාර්ශවකරුවන් අධිකරණය හමුවේ එකඟ වී තිබෙනවා.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් නම්කර තිබුණා.




