තම මව වෙනත් පුද්ගලයෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වන බවට උරණ වී එම අනියම් සම්බන්ධය පිළිබදව මවට චෝදනා කරමින් ඇය ගෙවත්තේ අනාරක්ෂිත වගා ළිඳකට තල්ලු කර ඝාතනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවෙකු මේ මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර මහත්මිය නියෝග කර තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය ගල්නෑව පොලීසියට නියෝග කළා. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගල්නෑව, හෙළබොදුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු මියගිය කාන්තාවගේ බාල පුත්‍රයායි.

ගල්නෑව, හෙළබොදුගම පදිංචිව සිටි තම මව වන ආර්.එම්. නන්දාවතී යන අය ළිඳකට පැන සිය දිවි හානි කර ගෙන ඇති බවට සැකකාර බාල පුත්‍රයා මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය මුල් අවස්ථාවේ කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් මරණකාරියගේ පශ්චාත් මරණ පරක්ෂණය පැවැත් වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ස්වකීය පශ්චාත් මරණ පරික්ෂණයේදී නිගමනය කොට ඇත්තේ මියගිය කාන්තාවගේ හිසෙහි මාරාන්තික තුවාල නොමැති වුවද ඇගේ හිසෙහි පඨක ඉරී යාමෙන් තුවාල සිදුව ඇති බවයි.

පසුව මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙය වූ ගල්නෑව පොලිසිය එම මරණය සැක සහිත බැවින් මියගිය කාන්තාවගේ බාල පුත්‍රයා අත්අඩංගුවට ගෙන දීර්ඝව ප්‍රශ්න කර තිබෙනවා.

එම කාන්තාව මියගොස් ඇත්තේ සැකකාර බාල පුත්‍රයා විසින් අනාරක්ෂිත වගා ළිඳකට තල්ලු කිරීම නිසා බවට එම ප්‍රශ්න කිරීම්වලදී කරුණු අනාවරණ කර ගැණුනා.

ගල්නෑව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රොහාන් මුණසිංහ මහතගේ මෙහෙවීම මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.