පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අනුරාධපුර මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ නාගරික මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් පත්කිරීමේදී අනුරාධපුර සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් එයට විරෝධය පළ කර තිබෙනවා.
ඒ, අනුරාධපුර දිස්ත්‍රික් හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු සහ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර මහතා පත් නොකිරීම හේතුවෙන්.
අනුරාධපුර දිස්ත්‍රික් නායකයෙකු සහ ආසන සංවිධායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් ඉන්දික අරුණ කුමාර මහතා ඇතුළු තවත් නම් කිහිපයක් යෝජනා කර සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත යොමු කර තිබූ බවයි වාර්තා වුණේ.
එහෙත් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගන්නා ලැයිස්තුවෙන් ඉන්දික අරුණ කුමාර මහතාගේ නම ඉවත් කර වෙනත් නමක් යෝජනා කර තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ බවයි සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ඉන්දික අරුණ කුමාර මහතා පත් නොකිරීමට විරෝධය පළ කරමින් දිස්ත්‍රික් කළමනාකාර නිහාල් කොඩිතුවක්කු මහතා ඉල්ලා අස්වී තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර හා සුරංග රත්නායක යන මහත්වරුන් සියලු සංවිධාන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවද වාර්තා වුණා.
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික් සංවිධානයේ සියලුම සාමාජිකයන් මින් ඉදිරියට සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් විමට තීරණය කර තිබෙන අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහභාගී වන සියලුම රැස්වීම්වලට සහභාගී නොවීමටත් තීරණය කළ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් සිදු කරන ලද මෙම පත්කිරීම ඉවත් කර ගන්නා ලෙසටද අනුරාධපුර දිස්ත්‍රික් නියෝජිතයින් ඉල්ලීමක් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වුණා.




