අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වනදා අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, රාජ්‍ය ගෞරව සහිතවයි.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වුණා. අපවත් වන විට උන්වහන්සේ 67 වන වියේ පසුවුණා.

1958 සැප්තැම්බර් 03 වනදා ආණමඩුව කොට්ටුකච්චිය ග්‍රාමයේදී රාජකරුණ හේරත් මුදියන්සේලාගේ මහානාම රාජකරුණ මහතා සහ අධිකාරී මුදියන්සේලාගේ පුංචි මැණිකේ මහත්මිය දාව රාජකරුණ හේරත් මුදියන්සේලාගේ උපාලි රාජකරුණා නමින් උපත ලැබූ ඒ පිනැති කුමරු කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා.

සාමාන්‍ය පෙළ සමත්ව ආණමඩුව ශ්‍රී ආනන්දාරාමයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි ඒ කුමරු අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක හිමියන්ව වැඩ විසූ උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක හිමි සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික වඳුරාගල ශ්‍රී රතනජෝති මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1976 මැයි මස 19 වනදා ආණමඩුවේ ධම්මදස්සි නමින් පැවිදිබිමට පත්වුණා.

1979 මැයි 20 දින උන්වහන්සේ උපසම්පදාවට පත්වූ උන්වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණේ 1982 වසරේදීයි.

එහිදී පාලි භාෂාව පිළිබඳ විශේෂ උපාධිය ලබා ගත් උන් වහන්සේ වර්ෂ 1990දී කැලණිය විශ්ව විද්‍යාලීය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් පශ්චාත් උපාධිය ලබා ගත්තා.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් පාසල් ගුරු සේවය ඇරඹූ උන්වහන්සේ නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර අනතුරුව ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධූරයට ද පත්වුණා.

අස්ගිරි මහ විහාරීය කාරක සංඝසභාව සඳහා අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියන් වර්ෂ 2002දී පත්වූ අතර 2008 මාර්තු 01 වනදා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයට පත් වුණා.

අස්ගිරි මහ විහාරීය සම්ප්‍රදායන් ආරක්ෂා කර ගත් උන්වහන්සේ ශ්‍රී දන්න ධාතූන් වහන්සේ උදෙසා තේවා කටයුතු වල නිරතවූ අතර ඉන්දියාව, පකිස්තානය, ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, චීනය, කොරියාව, එංගලන්තය, ඕස්ටේ්‍රලියාව, ජපානය, ආදී රටවල ආගමික කටයුතු හා ශාස්ත්‍රීය කටයුතු වල නිරත වී තිබෙනවා.

ශ්‍රද්ධා සීලාදි ගුණවලින් යුත් ඍජු ,මෘදු ලක්ෂණවලින් ස්වකීය දිවිය ආලෝකවත් කරගත් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ අස්ගිරි මහා විහාර පාර්ශවය මගින් ඉදිරියේදි දැනුම්දීමට නියමිතයි.