ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා දේශීය සිසුන් ඇතුලත් කර නොගැනීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා.

ඒ, ෆාතිමා අබ්දුල් ෆලීල්, දුලන්ක ද සිල්වා ඇතුළු සිසු සිසුවියන් පස් දෙනෙකු විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් 2025/26 යන අධ්‍යයන වර්ෂ සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය හැදෑරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටි බවයි.

2024 වසරේදි අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව දේශීය සිසුන්ට මුදල් ගෙවා මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීමේ අවස්ථාව ලබාගත හැකි බව දැනුම් දී තිබූ අතර ඒ අනුව තමන් ද ඊට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටි බව පෙත්සම්කරුවෝ සඳහන් කළා.

කෙසේවෙතත් ඉකුත් දා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීම සඳහා විදේශීය සිසුන් සහ ශිෂ්‍ය භට නිලධාරීන් ලෙස බඳවාගන්නා සිසුන් හැර දේශීය සිසුන් බදවා නොගන්නා බවට තීරණය කර ඇතැයි සඳහන් කර තිබූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉන් අනතුරුව ඉකුත් 22 වනදා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෙබ් අඩවිය තුලින් දේශීය සිසුන් වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා බදවා නොගන්නා බවට දැනුම් දීමක් සිදුකර තිබූ බවද ඔවුන් චෝදනා කරනවා.

මේ තුළින් අදාළ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමට අපේක්ෂාවෙන් සිටි තමන්ට දැඩි අසාධාරණයක් සිදු වන බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.