ජනතාවගේ ආදායම් හා වියදම් පිළිබඳ නිසි අධ්‍යයනයකින් අනතුරුව ලබන වසර සඳහා වන අයවැය ලේඛන ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ ගොවි ජනතාවගේ ආදායම් වැඩි කිරීම පිළිබඳව ද අයවැයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

ලබන වසරේ අයවැයෙන් සහන ලැබෙයිද? රජය ජනතාව ගැන සිතයිද? ඒ ගැන ජනතාව අතරම මේ දිනවල වැඩි වශයෙන් කතාබහක් මතුව තිබෙනවා. ඒ වගේම දේශපාලඥයින් ද ඒ ගැන විවිධ අදහස් පළ කරනවා. මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා දැක්වූයේ මෙවන් අදහසක්. කෙසේවෙතත් ඉදිරි අයවැයේදී අධ්‍යාපන සහ සෞඛ්‍ය වෙනුවෙන් වැඩි මුදලක් වෙන්කරන බවයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ. මේ අතර 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පසුගිය 26 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම ලබන නොවැම්බර් 07 වනදා සිදු කිරීමට නියමිතයි. ඒ අනුව නොවැම්බර් 08 වනදා සිට දෙසැම්බර් 05 වනදා දක්වා විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් මස 07 වනදා විසර්ජන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම හෙවත් අයවැය කථාව සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තම්න්තුව පැවසුවේ. ඉන් අනතුරුව නොවැම්බර් මස 08 වනදා සිට නොවැම්බර් මස 14 වනදා දක්වා දින 06ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි. ඒ අනුව දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදා පස්වරු 06.00ටයි. නොවැම්බර් මස 15 වනදා සිට දෙසැම්බර් මස 05 වනදා දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙනු ඇති. දෙසැම්බර් මස 05 වනදා පස්වරු 06.00ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.