මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගයට සමාන තවත් තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ, කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් කඳාන ප්‍රදේශයේ නිවසක සිදු කළ පරික්‍ෂාවකදීයි.

 

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පසුගියදා මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 05 දෙනාගෙන් තවදුරටත් පොලීසිය ප්‍රශ්න කිරීම් සිදු කරනවා.

ඒ අතර සිටි බැකෝ සමන්ගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම් හමුවේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගයක් පළමුව සොයා ගැණුනේ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදීයි.

කෙහෙල්බද්දර පද්මේ විසින් අදාළ රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50,000කට ආසන්න ප්‍රමාණය විදෙස් රටක සිට මෙරටට එවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඉන් අනතුරුව අදාළ බහාලුම් දෙක සිය මිතුරන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන පියල් මනම්පේරි සහ එම පක්ෂයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟවැදුණු ඔහුගේ සහෝදරයා වන සම්පත් මනම්පේරි වෙත ලබා දුන් බවට බැකෝ සමන් විසින් පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව එම සිද්ධියට අදාළව අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන පියල් මනම්පේරි මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා.

මේ අතර තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා තවත් රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් පොලීසිය ඊයේ දිනයේ සොයාගත්තා.

ඒ, ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් නෙටොල්පිටිය වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

මේ අතර එවැනි රසායනික ද්‍රව්‍යවලට සමාන තවත් තොගයක් කඳානේ නිවසක තිබියදීද සොයා ගෙන තිබෙනවා.

ඒ, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම් හමුවේදීයි.

අදාළ නිවසේ වැටලීම සිදු කරන අවස්ථාවේ එහි රැඳී සිට ඇත්තේ කුලී පදනම මත එම නිවස ලබා ගත් පිරිසක් බවයි පොලීසිය පැවසුවේ. ඔවුන්ගෙන් කළ ප්‍රශ්නකිරීම් හමුවේ අනාවරණ වී ඇත්තේ එම නිවස හිමි කාන්තාව විදෙස්ගතව සිටින බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.