පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද අවසර ලබා දුන්නා.
එහෙත් පෙත්සමෙන් ඉල්ලා තිබූ පරිදි අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බවයි මෙම පෙත්සම විභාගයට ගත් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ.
මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළා.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින්.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ වග උත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කොට වැඩ තහනමට ලක්ව සිටි බැවින් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සුදුසුකම් නොමැති බවයි.
ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බවත් නීතිඥවරයා තර්ක කළා.
රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා මෙහිදී කියා සිටියේ සිය සේවාදායකයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී ඔහු වැටුප් රහිතව වැඩ තහනමකට ලක්ව සිටි බැවින් එම අවස්ථාවේ ඔහු රජයේ සේවකයෙකු වශයෙන් සැලකිය නොහැකි බවයි.
ඒ අනුව ඔහුට, පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවත් නීතිඥවරයා තර්ක කළා.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන්නා. ඉන් අනතුරුව පෙත්සම අගෝස්තු මස 01 වනදා කැඳවීමට ද දින නියම කෙරුණා.