බලපත්‍ර නොමැතිව "සිඟිති" නමැති ඇතින්නක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කළා.
ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 206 ක දඩයක්ද නියම කෙරුණා.
එමෙන්ම අදාළ ඇතින්න රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම විත්තිකරුට මීට පෙර ඉදිරිපත් වී තිබූ "පෙර වරදක්" ද සලකා බැලීමෙන් අනතුරුව  මංජුල තිලකරත්න, ආර්.එස්.එස්.සපූවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම නියෝගය නිකුත් කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මංජුල තිලකරත්න මහතා
 " වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ඇතුන් පමණක් ලියාපදිංචි කළ යුතු බවටත් අලින් ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවන බවටත් විත්තිය විසින් තර්කයක් ගෙන එනු ලැබුවා. එහෙත් එම පනතේ ප්‍රතිපාදන සලකා බැලීමේදී එය පිළිගත නොහැකි බව අධිකරණයේ මතයයි. එමෙන්ම අලි ඇතුන් ලියාපදිංචි කිරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමත කර නොමැති නිසා එය නිත්‍යානුකුල ආකාරයට සම්මත වී ඇති බව පිළිගත නොහැකි බව විත්තිය ප්‍රකාශ කළා. එම නිසා ඒ තුළින් වරදක් උද්ගත වී ඇතැයි සඳහන් කරමින් චෝදනා එල්ල කළ නොහැකි බවටත් විත්තිය විසින් තර්කයක් මතු කර තිබුණා. එහෙත් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ ප්‍රතිපාදන විශ්ලේෂණය කිරීමේදී එවැනි ගැසට් නිවේදනයක් පිළිබඳව සඳහන් වන්නේ නෑ. එමෙන්ම පනත යටතේ අලි  ඇතුන් සන්තකයේ තබාගැනීම සඳහා බලපත්‍ර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව විත්තිය විසින් මතු කළ එම තර්කයද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනවා" යනුවෙන් පැවසුවා.
වැඩිදුරත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මංජුල තිලකරත්න මහතා
"  වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 22( අ )12 වගන්තිය යටතේ මෙම විත්තිකරු භාරයේ තිබී  අත්අඩංගුවට ගන්නා ලද අලියා නිසි බලයක් නොමැතිව අල්ලාගෙන විත් සන්තකයේ තබාගෙන සිටි අලියකු ලෙස සැලකෙනවා. එමෙන්ම අදාළ අලියා එම පනත යටතේ පොදු දේපළක් වශයෙනුත් අර්ථකථනය කර තිබෙනවා.
මෙම නඩුවේදී අදාල අලියා විත්තිකරු සන්තකයේ තිබු බව පැහැදිලිව ඔප්පු වී තිබෙනවා. විත්තිකරු විසින් විත්තිකූරුවේ සිට ඉදිරිපත් කළ සිය විත්ති වාචකය තුළින්ද මෙම අලියා සිය සන්තකයේ තිබූ බව පිළිගෙන තිබෙනවා. ඒ අනුව මෙම අලියා විත්තිකරු සන්තකයේ තිබූ බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙනවා. මේ වන විට වනාන්තරවල සිටින අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා. නීති විරෝධී ලෙස ඇතැම් පුද්ගලයින් වනාන්තරවල වෙසෙන අලි ඇතුන් අල්ලාගෙන යාම මෙම තත්ත්වයට ප්‍රධාන  හේතුවක්. මෙවැනි පුද්ගලයින්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් අලි ඇතුන් සංරක්ෂණයට ද විශාල බාධාවක් වී තිබෙනවා. මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නීතියේ පාලනය අතින් පමණක් නොව මෙරට පරිසර පද්ධතියට ද විශාල තර්ජනයක් වී තිබෙනවා. මෙරට පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගකීමක්. එමෙන්ම ජනතාවගෙන් ලැබී තිබෙන බලය හරහා අධිකරණවලටද පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වගකීම පැවරී තිබෙනවා. විත්තිකරු විසින් සිදුකර තිබෙන්නේ හුදු ව්‍යවස්ථාපිත වරදක් නොවේ. එය  බරපතළ අපරාධයක්. මෙලෙස නීති විරෝධී ආකාරයෙන් විත්තිකරු විසින් සන්තකයේ තබාගත් අලියාගේ වටිනාකම රුපියල් ලක්ෂ 68 ක් ලෙස පැමිණිල්ල විසින් අධිකරණයට වාර්තා කර තිබෙනවා." යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා දඬුවම් ලිහිල් කිරීම සඳහා විත්තිය විසින් ඉදිරිපත් කළ  සානුකම්පිත කරුණද සැලකිල්ලට ගෙන මෙම දඬුවම නියම කරන බවත් විනිසුරුවරයා පැවසුවා.
ඒ අනුව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදකරු කෙරුණු එක් චෝදනාවකට බරපතළ වැඩ සහිත වසර 05 ක සිර දඬුවම් හා  රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව මාස තුනක සිර දඬුවමක් නියම කරන බවත් නියම කළා.
ඊට අමතරව පොදු දේපළ පනත යටතේ එල්ල කර තිබූ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කළ  විනිසුරු මඩුල්ල ඊට අමතරව රුපියල් ලක්ෂ 204 ක දඩයක් නියම කරන බවත් සඳහන් කළා.
එම දඩ ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව වසර හතරක සිර දඬුවමක් නියම කරන බවයි විනිසුරු මඩුල්ල ඒකමතිකව නියෝග කළේ.
කෙසේ වෙතත් මෙම දඩවම් දෙකම එකවර ගෙවී යා යුතු බව නියෝග කළ  විනිසුරු මඩුල්ල ඒ අනුව විත්තිකරුට වසර 15 ක සිර දඬුවම් නියම වන බවත් ප්‍රකාශ වුණා.
විත්තිකරු වරදකරු කිරීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්ජ ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනී.. වන සත්ව ජාවාරම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉතා වැදගත් නඩුවක් ලෙස  මෙම නඩුකරය සඳහන් කළ හැකියි. සෑම අපරාධයකම වින්දිතයෙකු ඉන්නවා. නමුත් මෙවැනි වනසත්ව අපරාධවල වින්දිතයින් තමයි වන සත්තු. නමුත් අවාසනාවන්ත තත්ත්වයක් තිබෙනවා. මොකද වන සතුන්ට ඇවිල්ල පැමිණිලි කරන්න බෑ. උසාවිවල සාක්කි දෙන්න බෑ. මෙවැනි අනීතික ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන් තුළ මතුවන කම්පනය කියන්න ඔවුන්ට හැකියාවක් නෑ. අලි ජාවාරම සම්බන්ධයෙන් කතා කරන පළමු නඩුව තමයි මේක. මේ ජාවාරම පිටුපස දේශපාලකයින්, රජයේ නිලධාරීන්, පූජකවරු, අධිකරණ නිලධාරීන් වගේ බලවත් පුද්ගලයින් ඉන්නවා. ඔවුන් සියලු දෙනා එකතු වෙලා තමයි මේ ජාවාරම සිදුකර තිබෙන්නේ. මේ අනීතික ක්‍රියාව සිදුකිරීම හරහා විත්තිකරු මෙරට නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කර තිබෙනවා. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සඳහා ඊට අදාළව බලපත්‍ර ලබාගත යුතුයි. නමුත් මේ විත්තිකරු කැලේට ගොස් ඇතින්නක් සොරකම් කරගෙන ඇවිත් නීතිය අතට අරගෙන බලපත්‍රයක් ලබා නොගෙන ඔහු සන්තකයේ තබාගෙන තිබෙනවා. ඒ බව සිය විත්තිවාචකය තුළින්  ඔහු අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා. මේ සිද්ධිය නිසා අදාල ඇතින්න  වින්දිතයකු බවට පත්වෙලා තිබෙනවා. ඒ වින්දිතයාට යුක්තිය ඉටුවිය යුතුයි. මෙවැනි අපරාධ  නීතිය හමුවට හා සමාජය හමුවට පැමිණෙන අවස්ථා ඉතා  අඩුයි."  " යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා විත්තිකරුට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරු දීර්ඝ කාලයක් නඩු විභගයකට මුහුණ දුන් බවත් සානුකම්පිත ලෙස සලකා බලා ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් ඉල්ලා සිටියා.
ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි  තවත් විත්තිකරුවන් තුන්දෙනෙකු ඔවුන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා ඔප්පු නොවීම නිසා නිදොස් කොට නිදහස් කරන ලෙසද අධිකරණය නියෝග කළා.
මෙම නඩුව තුළින් එල්ල කර තිබූ සොරකම් කරන ලද අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම,  කුමන්ත්‍රණය කිරිම යන චෝදනා පැමිණිල්ල විසින් නිසියාකාරව ඔප්පු කර නොමැති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු  ආර්.එස්.එස්. සපුවිද මහතා සඳහන් කළා.
" මෙම චෝදනා ඔප්පු කිරීමට නම් අලියාගේ වයස නිර්ණය කිරීම ඉතා වැදගත්. මොකද භෞතිකව පරීක්ෂාවට ලක් කළ අලියා සහ බලපත්‍රයේ සිටින අලියා එකම අලියා ද යන්න නිගමනය කළ හැක්කේ එම සත්වයාගේ වයස අනුවයි. ඒ අනුව අලියාගේ වයස තහවුරු කිරීම සඳහා පැමිණිල්ල විසින් විශේෂඥ පශු වෛද්‍යවරු තුන්දෙනෙකුගේ සාක්ෂි ඉදිරිපත් කළා. ඉන් එක් සාක්ෂිකරුවෙක් මසුන් පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයෙක්. අනෙක් සාක්ෂිකරු එළුවන්ගේ ප්‍රජනන විෂය  පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයෙක්. ඔවුන්ගේ සුදුසුකම් හා පලපුරුද්ද පිරික්සීමේදී ඔවුන්ට අලියෙකුගේ වයස නිර්ණය කිරීමට තරම් විශේෂඥ දැනුමක් තිබෙන බව අධිකරණයට පෙනී යන්නේ නැහැ. ඒ අනුව ඔවුන් මෙම කරුණට අදාළ ව ඉදිරිපත් කළ සාක්ෂි පිළිගන්න බැහැ  " යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව විත්තිකරුවන් සියලු දෙනාට එල්ල කර තිබූ එම චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවත් සඳහන් කළා.
2009 වසරේ සිට  2015 වසර දක්වා කාල සීමාව තුළ අලි ඇතුන් පස් දෙනකු බලපත්‍ර නොමැතිව සන්තකයේ තබා ගැනීම , කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 33 ක් යටතේ  අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා.