අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ අරමුණින් මෙරටට ගෙන්වන ලද රසායනික ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සාවද්‍ය පුවතක් සම්බන්ධයෙන් දැඩි අවදානය යොමු කර ඇති බව පොලීසිය පවසනවා.

ජාත්‍යන්තර තොරතුරු ලැබී තිබියදී, රතු ලේබල් කර තිබූ එම රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් නිදහස් කර ඇති බවට සඳහන් කරමින් මෙම මෙහෙයුම භාරව කටයුතු කරන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතාගේ ඡායාරූපයක්ද සහිතව ඒ මහතා සම්බන්ධ කර ගනිමින් අදාල ව්‍යාජ පුවත නිර්මාණය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පළ කිරීමක් බවත් මෙවැනි ව්‍යාජ පුවත් පළ කිරීම තුළින් මෙම මෙහෙයුම් අඩාල කිරීම හා නිලධාරීන් අපහසුතාවට පත් කිරීම මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය අපකීර්තියට ලක් කිරීමද, සංවිධානාත්මක අපරාධවලට උත්තේජනයක් ලබාදෙන සුළුතර පිරිසකගේ අරමුණ බව නිරීක්‍ෂණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මෙවැනි අසත්‍ය පළ කිරීම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.