2025 වර්ෂයට අදාළව තවත් පවුල් ලක්ෂ හතරකට අස්වැසුම ලබා දීම සඳහා සුදුස්සන් තෝරා ගැනීම අවසන් අදියරේ පවතින බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසනවා.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාව දහතුන් ලක්ෂ අසූ දහසක් බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

කෙසේවෙතත් අස්වැසුම ලබා දීමේ තෝරා ගත් ලැයිස්තුවේ තමන්ගේ නම් නැතැයි පවසමින් පිරිසක් පසුගියදා වැලිගම ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්වුණා.

එහිදී ඔවුන් චෝදනා කළේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් අස්වැසුම නාම ලේඛනය සකස් කර ඇති බවයි.

කෙසේවෙතත් අදාළ නාම ලේඛනයේ නම් නොමැති පුද්ගලයින්ට ලබන 16 වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කළා.

නෙත් නිවුස් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් සිදු නොකරන බවයි.