ආසියානු කුසලාන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ වීරයා සම්මානය දිනාගැනීමට අභිෂේක් ෂර්මා සමත් වුණා. එම තරඟාවලියේදී ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 61ක්, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 75ක්, පකිස්තානයට එරෙහිව ලකුණු 74ක සහ ඕමානයට එරෙහිව ලකුණු 38ක් රැස්කළා. කෙසේවෙතත් පකිස්තානය සමග ඊයේ පැවති අවසන් මහා තරඟයේදී අභිෂේක් ශර්මාට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 05ක් පමණයි. එම අවසන් මහා තරඟයේදී පස මිතුරන් වන පකිස්තාන කණ්ඩායම පරදා කඩුලු 05කින් තරඟය ජය ගැනීමට අපරාජිත ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ආසියානු ශූරයන් ලෙසින් කිරුළු පැළදීමට ඉන්දියාව සමත් වුණේ නවවන වරටයි. අවසන් මහා තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 146ක්. ජයග්‍රාහී ලකුණු 147ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරඟය ජය ගත්තා. සටන්කාමී පිති හරඹයක නිරත වූ තිලක් වර්මා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 69ක්. ඒ අනුව තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට ද ඔහු සමත් වුණා.