අද මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී දවසක්.
අද දින ඉතිහාසයට එක් වුණේ හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව ලෙසයි.
මෙලෙස අද අත්අඩංගුවට පත් වුණේ මෙරට 08 වන විධායක ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතායි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් කෙරුණා.
පසුව රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි චෝදනාවට අදාල නඩු විභාගය ආරම්භ වුණේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය ඉදිරියේයි.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවයි.
විමර්ශන කටයුතු අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.
කෙසේවෙතත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සැකකරු ඇප මත මුදාහරින ලෙසයි.
ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව මහේස්ත්‍රාත්වරිය නිවේදනය කළා.
අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවේ අද පස්වරු 03.00ට පමණයි.
රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය වෙත රැගෙන ඒමත් සමග හිටපු දේශපාලඥයින් අධිකරණ භූමියට පැමිණියා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද ඒ අතරට අයත්.
නීතිඥවරුන් විශාල ප්‍රමාණයක් ද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්.
පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන්ද නීතිඥවරුන් ලෙස පැමිණ සිටිනු දැකගත හැකි වුණා.
එහි සිටි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන පාක්ෂිකයින් පිරිසක් ද අධිකරණ භූමියට රැස්ව සිටි බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේ එහි ආරක්ෂාව ද දැඩි කර තිබුණා. මේ, එහිදී අදහස් දැක්වූ දේශපාලඥයන් කිහිප දෙනෙක්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයී.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ජුනි 24 වනදා කරුණු දක්වනු ලැබුවා.
අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා.
කෙසේවෙතත් හිටපු රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිත කර නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙත වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් කරන ලද ආරාධනා පත්‍රයේ පිටපතක් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය විසින් නිල වශයෙන් නිකුත් කරමින්.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය විදෙස් මාධ්‍ය නාලිකා ද මේ වන විට වාර්තා කර තිබෙනවා.
බීබීසි, රොයිටර්, ද හින්දු, එන්.ඩී. ටීවී සහ හින්දුස්ථාන් ටයිම්ස් යන මාධ්‍ය ආයතන ද ඒ අතරට අයත්.