ඉන්දියාවට අමෙරිකානු ඩොලර් මිලියන 93ක ආයුධ අලෙවි කිරීමට අමෙරිකාව අනුමැතිය ලබාදී තිබෙනවා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, යුද ටැංකි නාශක මිසයිල සහ කාලතුවක්කු ප්‍රක්ෂේපණ ඇතුළු ආයුධ මෙහිදී ඉන්දියාවට ලබාදෙන බවයි.

මෙම අවි ආයුධ ගනුදෙනුව සිදුවන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, වොෂින්ටනයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී මාස නවයකට පසුව වීම විශේෂත්වයක්.

එහිදී දෙරටේ නායකයින් ආරක්ෂක සබඳතා ඉදිරියට ගෙන යාමට පොරොන්දු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාව සාමාන්‍යයෙන් රුසියාවෙන් ද ආයුධ ආනයනය කරනවා.

එසේ තිබියදී මෙලෙස අමෙරිකාවෙන් ද ආයුධ ආනයනය කිරීමට ගත් තීරණය දෙරට අතර පවතින වෙළඳ යුද්ධය හේතුවෙන් සිදු වූවක් බවටයි විචාරකයින් මත පළ කරන්නේ.

රුසියාව යනු ඉන්දියාවේ ප්‍රධාන ආයුධ සැපයුම්කරුවෙකු වනවා.

රුසියාවෙන් තෙල් සහ ආයුධ මිලදී ගැනීමද සැලකිල්ලට ගෙන අමෙරිකාව විසින් ඉකුත්දා සියයට 25ක අතිරේක දඩයක් ඇතුළුව ඉන්දියාවට සියයට 50ක තීරුබදු පැනවීමට කටයුතු කළා.