ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ශ්‍රීනගර් ප්‍රදේශයේ පොලිස් ස්ථානයක පිපිරීමක් සිදු වී තිබෙනවා.

අදාළ පිපිරීමෙන් පුද්ගලයන් 09 දෙනෙකු මිය ගොස් 32 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පිපිරීම හේතුවෙන් පුද්ගල මරණ සංඛ්‍යාවේ සහ තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට සඳහන්.

එසේම මියගිය පිරිස අතර පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් නිලධාරීන් කිහිප දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෑතකදී අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයකින් සාම්පල ලබා ගනිමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ද්‍රව්‍ය හර්යානා ප්‍රාන්තයේ ෆරීදාබාද් සිට රැගෙන විත් තිබෙනවා.

එම පුපුරණ ද්‍රව්‍ය පිපිරීමට හේතුව සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

ඉන්දිය කාශ්මීර කලාපයේ ප්‍රධාන පොලිස් නිලධාරියකු මෙම සිද්ධිය පිළිබඳව හැකි ඉක්මනින් මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.