යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර වෙළඳ ගිවිසුම් සාකච්ඡා කඩිනමින් සිදුවෙමින් ඇතැයි වාර්තා වේ. ඒ සඳහා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් දැනටමත් නවදිල්ලියට පැමිණ ඇත. ඒ අනුව දෙපාර්ශවය අතර සාකච්ඡා ඊයේ ආරම්භ වුනු බව ආරංචි මාර්ග පවසයි. ඉන්දීය රජයේ ආරංචි මාර්ග අනුව නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) සඳහා දැනට පවතින සාකච්ඡා සමාලෝචනය කිරීම සඳහා මධ්‍යම වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් යුරෝපා සංගමයේ වෙළඳ කොමසාරිස් හමුවීමට ද නියමිතව තිබේ. නවසීලන්තය, චිලී සහ පේරු සමඟ ද ඉන්දියාව මේ වනවිට වෙළඳ සාකච්ඡා සාර්ථකව සිදුකරමින් ඇතැයි සඳහන්. කටාර් රාජ්‍යය සමඟ සාකච්ඡා ද දියුනු අදියරකට එළැඹ ඇති අතර දෙපාර්ශවයම යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා යොමු කිරීමේ කොන්දේසි ලබන මස මුලදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව ආරංචි මාර්ග පවසයි. මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා වාණිජ අමාත්‍ය පියුෂ් ගෝයල් ඔක්තෝබර් මස මුල් සතියේ කටාර් බලා යාමට ඉඩ ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.