ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර හමුවක් සිදුව තිබේ. ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීවයි. එම සැසියට සහභාගී වීම සඳහා අමෙරිකාවට ගොස් සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග මෙලෙස ද්විපාර්ශවීය සාකච්ඡාවක් සඳහා එක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එහිදී ඔවුන් දෙපළ H-1B වීසා ගැටළු සහ වෙළඳ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද සඳහන්. අමෙරිකාවේ බදු පැනවීම හමුවේ දෙරට අතර උද්ගත වූ ගැටළුකාරී තත්වයටෙන් අනතුරුව දෙරටේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙදෙනෙකු මුහුණට මුහුණ හමුවූ සාකච්ඡා කළ පළමු අවස්ථාව ද මෙයයි. එමෙන්ම දෙරට සබඳතා වර්ධනය වන තත්වයක් මත මෙම හමුව සිදුවීම ද විශේෂත්වයකි.