ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වූයේ ජූනි මාසයේ අවසන් සති දෙකේදී ඇනවුම් කළ ඉන්ධනවල මිල ඉහළ යාම හේතුවෙන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ මාස දෙක හමාරකට අවශ්‍ය ඉන්ධන සංචිත රට තුළ පවතින බව රජය විසින් මීට පෙර ප්‍රකාශ කර තිබියදී ඉන්ධන මිල වැඩි වීමක් සිදු වූයේ කෙසේද යන්නයි.

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල තීරණය කිරීමට හේතු වී ඇති කරුණු සම්බන්ධයෙන් ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී අදහස් පළ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත් කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී පිළිතුරු ලබා දුන්නා.