ගාසා තීරය ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පලස්තීනුවන් 33 දෙනෙකු මිය ගොස් ඇති බව හමාස් පාලනය යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නියෝගයකට අනුව ඊශ්‍රායල හමුදාව මෙම ප්‍රහාර මාලාව එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් දෙපාර්ශවය අතර මීට සති කිහිපයකට පෙර එළඹුණු සටන් විරාම ගිවිසුම හමාස් සංවිධානය උල්ලංඝනය කළ බවට චෝදනා කළ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඊට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයට වහාම ප්‍රහාර එල්ල කරන ලෙස එරට හමුදාවට නියෝග කර තිබෙනවා.
ඉකුත් අඟහරුවාදා දකුණු ගාසා තීරයේදී ඊශ්‍රායල හමුදා වෙත එල්ල වූ ප්‍රහාරයක් සහ මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ආපසු ලබා දීමේ කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හමාස් සංවිධානයට චෝදනා කළා.
මියගිය ප්‍රාණ ඇපකරුවෙකුගේ සිරුරක් ලෙස ලබාදී ඇත්තේ මීට පෙර ලබාදුන් ප්‍රාණ ඇපකරුවෙකුගේ සිරුරක කොටසක් බවටයි ඊශ්‍රායලය චෝදනා කරන්නේ.
කෙසේවෙතත් හමාස් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව සති කිහිපයක් පැවති ගාසා තීරයේ සටන් විරාමය බිඳ වැටීමේ අවධානමක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.




