ඊශ්‍රායල විසින් එල්ල කල ගුවන් ප්‍රහාරයකදී ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සුළු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකට සහභාගී වෙමින් සිටියදි ඉරාන ජනාධිපතිවරයා එම ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ රැස්වීම සඳහා ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් ඇතුළු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ අධිකරණ ප්‍රධානී ගොලම්හොසේන් මොහ්සේනි සහ ජ්‍යේෂ්ඨ ඉරාන නායකයින් රැසක් සහභාගීව සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ටෙහෙරානයේ ගොඩනැගිල්ලක රහසිගත භූගත මාර්ගයකට ප්‍රවේශ වීමේ සහ පිටවීමේ ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර 06ක් සිදුව තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු ටෙහෙරානයේ විදුලිය විසන්ධි කර ඇති නමුත් ඉරාන ජනධිපතිවරයා ආරක්ෂිතව පිට වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස හදිසි ආරක්ෂක වළල්ලක් හරහා පැන යාමේදී ඔහුගේ පාදයට තුවාල සිදුව තිබෙනවා.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගෙන් පසු ඉරානයේ ඉහළම තීරණ ගැනීමේ ආයතනය වන්නේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයයි.

කෙසේවෙතත් එම ප්‍රහාරය සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කළ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ පාලන වෙනසක් ඇති කිරීම යුද්ධයේ ඉලක්කයක් නොවන බවයි.