දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ.

මේ අතර ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් දිවයින පුරා සිදුවූ ආපදාවලින් මියගිය බවට තහවුරු කරගෙන ඇති පුද්ගලයින් ගණන 486ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 341 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. බලපෑමට ලක්ව සිටින පුද්ගලයින් ගණන දහඅට ලක්‍ෂ හතලිස් හතර දහස් පනස් අටක්.

පුද්ගලයන් එක් ලක්‍ෂ හැත්තෑ එක් දහස් හත්සිය හැත්තෑ අට දෙනෙකු තවදුරටත් ආරක්‍ෂිත මධ්‍යස්ථානවල රදවා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.