රාජ්‍ය භාණ්ඩාගාරය ඉතිහාසයේ පළමු වරට පිරී ඉතිරී ගොස් ඇති බවත් එම මුදල්වලින් ජනතාවට සහන ලබා නොදෙන්නේ ඇයි ද යන්න ගැටලු සහගත බවත් මෙවර අයවැය විවාදයේදී විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පෙන්වා දෙන ප්‍රධානතම කරුණක්.

රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ එය ජනතාවට සහන සැලසීම සඳහා වැය කළ යුතුද යන්න සම්බන්ධයෙන් නෙත් නිවුස් ආර්ථික විද්‍යානුකූලව විමසා බැලීමක් කළා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දුන්නේ රජය රාජ්‍ය ආදායමෙන් කොටසක් ඉතිරි කිරීමක් ලෙස පවත්වාගෙන යාම ආර්ථික කළමණාකරණයේදී ධනාත්මක කරුණක් බවයි.

රාජ්‍ය ආදායම සම්පූර්ණයෙන්ම වියදම් කිරීම සුදුසු තත්ත්වයක් නොවන බවද මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මෙම වසරේදී රජය විසින් අපේක්ෂා කරන සමස්ත ආදායම රුපියල් බිලියන 5,100ක්. වසරේ පළමු මාස 09 තුළ රජය අපේක්ෂිත ආදායම් ඉලක්ක ඉක්මවා ගොස් ඇති අතර රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 16ක මට්ටමට ළඟා වී ඇත්තේ 2006 වසරෙන් පසුවයි.

ලබන වසරේදී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15යි දශම 3ක් ඉක්මවා යනු ඇති බව 2026 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය මගින් පුරෝකතනය කර තිබෙනවා.