එංගලන්ත කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 336කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 587ක්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක ශුබ්මන් ගිල් ලකුණු 269ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 30ක් ඇතුළත් වුණා.

රවින්ද්‍ර ජඩේජා ලකුණු 89යි.

කෙසේවෙතත් සිය පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 407ක් පමණයි.

ජේම් ස්මිත් නොදැවී ලකුණු 184ක් රැස් කළා.

පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජ් කඩුලු 06ක් සහ අකාශ් දීප් කඩුලු 04ක් බිඳ හෙළුවා.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම කඩුලු 06ක් බිඳවැටී ලකුණු 427ක් රැස් කර සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා.

දෙවන ඉනිමේදීද සාර්ථක වූ නායක ශුබ්මන් ගිල් පන්දු 162කදී ලකුණු 161ක් රැස් කළා.

ඒ අනුව තරඟය ජය ගැනීම සඳහා එංගලන්ත කණ්ඩයමට ලකුණු 608ක ඉලක්කයක් හිමි වුණා.

කෙසේවෙතත් එංගලන්ත කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 271ක් පමණයි.

පන්දු යැවීමේදී අකාශ් දීප් කඩුලු 06ක් බිඳහෙළුවා.

ඉනිම දෙකේදීම පිත්තෙන් දස්කම් පෑ ඉන්දීය ටෙස්ට් නායක ශුබ්මන් ගිල් තරඟයේ වීරයා සම්මානය දිනා ගනු ලැබවා.